අමෙරිකාවේ නිවාස පිරිවැය අඩු කිරීමේ පනතට අත්සන් තැබීම ට්‍රම්ප් අවලංගු කරයි
June 24, 2026 10:24 pm
අමෙරිකානුවන්ගේ නිවාස පිරිවැය අඩු කිරීම අරමුණු කරගත් ඓතිහාසික පනත් කෙටුම්පතකට අත්සන් තැබීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවලංගු කර ඇත.
දේශපාලන භේදයකින් තොරව අමෙරිකානු ඡන්දදායකයින්ට මෙම ගැටලුව කෙතරම් තදින් බලපා ඇත්ද යන්න පෙන්වමින්, අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ සභා දෙකම (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය) මීට පෙර මෙම පනතට අනුමැතිය ලබා දී තිබුණේ කලාතුරකින් දැකිය හැකි ද්විපාර්ශ්වික එකඟතාවයක් ප්‍රදර්ශනය කරමිනි.
ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ දැඩි ඡන්දදායක හැඳුනුම්පත් අවශ්‍යතා ඇතුළත් වෙනත් වෙනම නීතියක් සම්මත වන තෙක් තමා මෙම නිවාස පනතට අත්සන් නොකරන බවය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මෙම පනත නිෂේධනය නොකළහොත් හෝ කොංග්රස් මණ්ඩලයේ සැසිවාරය කල් නොදැමුවහොත් දින දහයකට පසු එය ස්වයංක්‍රීයව නීතියක් බවට පත්වනු ඇත.
"21st Century ROAD to Housing Act" ලෙස මෙම පනත හැඳින් වේ.
මෙම ප්‍රතිපාදන නීතියක් බවට පත් කිරීමට නියමිතව තිබූ පැය කිහිපයකට පෙර ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ, "අද පැවැත්වීමට තිබූ නිවාස ප්රවෘත්ති සාකච්ඡාව සහ අත්සන් තැබීමේ උත්සවය, මා ජාතික හදිසි අවස්ථාවක් ලෙස සලකන 'SAVE AMERICA ACT' පනත සම්මත වන තෙක් මෙයින් අවලංගු කරනු ලැබේ" යනුවෙනි.
