රෝහිත පිටව යයි

රෝහිත පිටව යයි

June 25, 2026   03:26 pm

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා, ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර එම පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.

මිරිහාන සහ නුගේගොඩ ප්‍රදේශවල පිහිටි පෞද්ගලික සමාගම් දෙකක රුපියල් මිලියන 19ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ තිබුණි.

අදාළ මුදල 2018 සහ 2021 අතර කාලසීමාව තුළ එම සමාගම්වල ආයෝජනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කිසිදු ස්ථිර රැකියාවක හෝ ආදායම් මාර්ගයක නිරත නොවන පුද්ගලයකු මෙතරම් විශාල මුදලක් ආයෝජනය කිරීම සැකසහිත බව පවසමින් පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

පසුව එම පැමිණිල්ල ඉදිරි විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමු කර ඇත.

ඒ අනුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මඟින් මේ වන විට ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.