රතු නිවේදන ඇතිව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

රතු නිවේදන ඇතිව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

June 26, 2026   05:30 pm

රතු නිවේදන නිකුත් කළ තවත් සැකකරුවන් 232ක් විවිධ රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඉන් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවත් ඉන් 37 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවය. 

පසුගිය මාස 20ක කාලසීමාව තුළදී සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු රතු නිවේදන හරහා මෙරටට රැගෙන විත් ඇති බව පැවසූ අමාත්‍යවරයා රතු නිවේදන නොමැතිව තවත් පුද්ගලයින් 35ක්ද මෙරටට රැගෙන ආ බවද පැවසීය.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 58ක් මෙරටට රැගෙන විත් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම පිරිසට අමතරව තවත් රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනෙකු විදෙස් රටවල සැඟව සිටින බවත් ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ඉතාලිය, සෞදි අරාබිය ආදී රටවල සිටින බවටද අමාත්‍යවරයා මෙහිදී අනාවරණයක්ද සිදු කළේය.

ඒ අනුව හැකි ඉක්මනින් එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දෙවැනි පෙළ සහ තුන්වැනි පෙළෙහි සිටින පිරිස් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

"මේ වෙනකොට සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙක් රතු නිවේදන හරහා මෙරටට ගෙනවිත් තිබෙනවා. රතු නොමැතිව තවත් 35ක් ඇතුළුව 58ක් මාස 20ක කාලසීමාව තුළ මෙරටට ගෙනවිත් තිබෙනවා. තවත් රතු නිවේදන නිකුත් කරපු 232ක් ඉන්නවා. ඒ අතුරින් 96 දෙනෙක්ම සංවිධානාත්මක අපරාධකරුවන්. මේ 96 අතුරින් 37ක් මේ වන විට විවිධ රටවල ඉන්නවා ඔවුන් හඳුනාගෙන තිබෙනවා UAEවල 19ක්, ඉන්දියාවේ 11, මැලේෂියාවල 1ක්, UKවල 1ක්, ප්‍රංශය 1, කැනඩාව 1, රුසියාව 1, ඉතාලිය 1, සෞදි අරාබිය 1ක් ඇතුළුව 37ක් ඉන්නවා අඳුනාගෙන රතු නිවේදන නිකුත් කරලා ඉදිරි කාලයේදී ඔවුනුත් මේ රටට ගෙන්ව ගන්නවා. මොවුන් තමයි මැදපෙරදිග කලාපයේ ඉඳගෙන මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන්නේ. ඉතිං ඒ මෙහෙයුම්කරුවන් අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ වගේම ඔවුන්ගේ දෙවැනි පෙළ, තුන්වැනි පෙළට එරෙහිව අපි මේ වන විට ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. ඒ වගේම රට තුළ ඉන්න ඔවුන් හඳුනාගෙන තිබෙනවා ඔවුන් මේ ව්‍යාපාරය හරහා අත්පත් කරගන්නා අනීතික ධනය රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය පියවර අරගනිමින් ඉන්නවා."