කොදෙව් ක්‍රීඩිකාවන් පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක්
June 27, 2026 10:31 pm
එංගලන්තයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (27) සිදුවිය.
ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම තීරණය වී තිබුණේ අද පැවති බ.ඉ. කොදෙව් සහ අයර්ලන්ත තරගයේ ප්‍රතිඵලය මතය.
එහිදී කොදෙව් කණ්ඩායම පරදා කඩුලු 6ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වුවද, ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ ප්‍රසාද ලකුණු වේගය (NRR) සපුරා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.
මෙම තරගය ආරම්භ වන විට ප්‍රසාද ලකුණු සටහනේ කොදෙව් කණ්ඩායම දෙවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේත් පසුවිය.
කොදෙව්වන් අභිබවා ශ්‍රී ලංකාවට පෙරමුණ ගැනීමට නම්, අයර්ලන්තය විසින් මෙම තරගයේදී කොදෙව්වන් ලබාදුන් ලකුණු 129ක ඉලක්කය පන්දුවාර 10.5ක් හෝ ඊට අඩු සංඛ්‍යාවකින් හඹා යා යුතුව තිබුණි.
කෙසේ වෙතත් අයර්ලන්ත ක්‍රීඩිකාවන් එම ඉලක්කය පසුකර ගියේ තරගයේ 19වැනි (18.1කදී) පන්දුවාරයේදීය. ඒ වන විට ඔවුන්ගේ කඩුලු 4ක් පමණක් බිඳ වැටී තිබුණි.
ඒ අනුව අයර්ලන්තය සටන්කාමී ජයග්‍රහණයත් ලැබුවද, ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් ගිලිහී ගියේය.
දෙවැනි කාණ්ඩයේ ශ්‍රී ලංකා ගමන මෙසේ නිමාවට පත්වුවද, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම කවුද යන්න තවමත් අවසාන වී නැත.
ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත එංගලන්ත - නවසීලන්ත තීරණාත්මක තරගයේ ප්‍රතිඵලය අනුව මෙම කාණ්ඩයෙන් ඉදිරියට යන කණ්ඩායමනිල වශයෙන් තීරණය වනු ඇත.
