පොසොන් සැමරීමට අනුරාධපුරයේ සියල්ල සූදානම්
June 28, 2026 10:05 am
ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මේ සඳහා නිල ඇඳුමෙන් යුත් පොලිස් නිලධාරීන් 3,180දෙනෙකු ඇතුළු 3500කට අධික පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීමට නියමිත බව උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා සඳහන් කළේය.
පොසොන් උත්සවයට සමගාමීව අද (28) රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිත ඓතිහාසික මිහිඳු පෙරහැර හේතුවෙන් අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ.
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ දන්සල් විශාල සංඛ්‍යාවක් සූදානම් කර ඇති අතර, එම දන්සල් පවත්වනු ලබන දායකයින්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ මාර්ගවල ගමන් කරන වාහනවලට සහ බැතිමතුන්ට කිසිදු බාධාවක් හෝ කරදරයක් නොවන අයුරින් එම දන්සල් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසය.
