ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවාව ඉහළ නැංවීමට තමිල්නාඩුවෙන් නව පියවරක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවාව ඉහළ නැංවීමට තමිල්නාඩුවෙන් නව පියවරක්

June 28, 2026   10:03 pm

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී නාවික සේවා ශක්තිමත් කිරීමේ තවත් සුවිශේෂී පියවරක් ලෙස, තමිල්නාඩුවේ නාගපට්ටිනම් වරායේ ජාත්‍යන්තර මගී පර්යන්තයේ තීරුබදු රහිත වෙළෙඳ පහසුකම් හඳුන්වා දීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.

ඉන්දීය-ශ්‍රී ලංකා නාවික ගමන් මාර්ගය භාවිත කරන මගීන් සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වන බැවින්, වරායේ මගී අත්දැකීම ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සහ ජාත්‍යන්තර සමුද්‍රීය පර්යන්ත ප්‍රමිතීන්ට සමීප කිරීම මෙම නව වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.

තමිල්නාඩු සමුද්‍රීය මණ්ඩලය (TNMB) විසින් සංවර්ධනය කරන ලද මෙම පර්යන්තය, නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව සඳහා පහසුකම් සපයයි. 

2024 අගෝස්තු මාසයේදී මෙහෙයුම් ආරම්භ කළ දා සිට, මෙම සේවාව දෙරටේ සංචාරකයින්, වන්දනාකරුවන්, ව්‍යාපාරිකයින් මෙන්ම ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සාමාජිකයින් සඳහා ඉතා වැදගත් ගමන් මාර්ගයක් බවට පත්ව ඇත.

දේශසීමා හරහා සමුද්‍රීය සබඳතා සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතින බව පෙන්වා දෙන බලධාරීන් ප්‍රකාශ කරන්නේ, මෙම මාර්ගය ඔස්සේ මේ වන විට මගීන් 25,000කට වැඩි පිරිසක් ප්‍රවාහනය කර ඇති බවයි.

යෝජිත තීරුබදු රහිත වෙළෙඳසැල් මගින් ජාත්‍යන්තර මගීන්ට ඉන්දීය රජය විසින් නියම කර ඇති රෙගුලාසිවලට අනුකූලව රේගු බදු සහ අනෙකුත් බදුවලින් නිදහස් කරන ලද තෝරාගත් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.

වර්ධනය වන මගී ධාරිතාව හේතුවෙන් පර්යන්තය තුළ උසස් වෙළෙඳ අත්දැකීම් සහ අගය එකතු කළ සේවා (Value-added services) හඳුන්වා දීමට කදිම අවස්ථාවක් නිර්මාණය වී ඇති බව නිලධාරීහු පෙන්වා දෙති.

මෙම තීරුබදු රහිත වෙළෙඳ පහසුකම් සංවර්ධනය කිරීම සහ මෙහෙයවීම බාහිර පාර්ශ්වයකට පැවරීමේ ක්‍රමවේදයක් යටතේ පෞද්ගලික සමාගමක් විසින් සිදු කරනු ඇත.

මෙහි කටයුතු එළඹෙන ජූලි මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, ඉදිරි මාස හය තුළ වෙළෙඳසැල් සම්පූර්ණයෙන්ම විවෘත කිරීම ඉලක්ක කර ඇත.

මෙම පියවර මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සහ සමුද්‍රීය වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතරම මගී පහසුව ද ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරයි.