මේ වසරේ රාජ්‍ය ආදායම පහළ යනු ඇතැයි පුරෝකථනයක්
June 29, 2026 11:14 am
2025 වසරේ පැවති මට්ටමට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
2027 වසර සඳහා නිකුත් කළ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට අනුව, ප්‍රදාන ඇතුළත් සමස්ත රාජ්‍ය ආදායම 2025දී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 16.7ක් ලෙස පැවති අතර, එය 2026දී සියයට 15.8ක් දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, 2025 වසරේදී වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ ලැබුණු එක්වරක් පමණක් ලැබෙන බදු ආදායම් ඉහළ යාමෙන් පසුව ආදායම් එකතු කිරීම සාමාන්‍ය තත්ත්වයට පත්වීම මෙම අඩුවීමට ප්‍රධාන හේතුවක් බවය.
2022 ආර්ථික අර්බුද සමයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 8.4ක් දක්වා පහළ ගොස් තිබූ අතර, එය ලෝකයේ පහළම මට්ටම් අතරට එක් වූ බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
පසුව ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්ති සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් බදු පදනම පුළුල් වී ඇති බවත්, බදු පැහැර හැරීම් සහ අහිමිවීම් අවම කිරීමට පියවර ගෙන ඇති බවත් එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, මැදපෙරදිග භූ දේශපාලනික තත්ත්වයන්, ගෝලීය වෙළෙඳාම සහ බලශක්ති වෙළෙඳපොළේ ඇති විය හැකි බාධා හේතුවෙන් ඉදිරියේදී රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වා ගැනීම අභියෝගයක් විය හැකි බවද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.
