ලොග්ගල්ලා ඔය ජලාශයේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
June 29, 2026 04:57 pm
රිදීමාලියද්ද - කුරුවිතැන්න, තොටිලේයාය ප්‍රදේශයේ ලොග්ගල්ලා ඔය ජලාශයේ ඔරු පදිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතයක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ මහනුවර පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.
මහනුවර ප්‍රදේශයේ සිට 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (28) ලොග්ගල්ලා ඔය වැව් රක්ෂිතය තුළ ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය සංචාරක ස්ථානයකට පැමිණ තිබේ.
එම පිරිස මෙම ස්ථානයට පැමිණ උපන්දින සාදයක් පවත්වා ඉන් අනතුරුව මෙම සංචාරක ස්ථානයට අයත් කුඩා ඔරු දෙකක් අනාරක්ෂිත ලෙස එකට බැඳ සදාගත් පාරුවකින් ලොග්ගල්ලා ඔය වැව මැද ඇති කුඩා දුපතකට දියනෑම සඳහා පිටත්ව ගොස් ඇත.
ඔවුන් දුපතේ දිය නෑමෙන් අනතුරුව මෙගොඩට පැමිණෙන අවස්ථාවේ ඔරු පාරුව කැඩී පෙරලි යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෙම පාරුවේ කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු සංචාරකයින් 11 දෙනෙක් සිටි බව සඳහන්ය.
ඉන් දෙදෙනෙකු ජීවිත ආරක්ෂක කබා පැළඳ නොසිටීමෙන් ඔවුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන් වූ බවත් පොලීසිය හා ගම්වාසීන් එක්ව සිදු කළ මෙහෙයුමෙන් අද (29) උදෑසන ඔවුන්ගේ මෘත දේහයන් ගොඩගැනීමට හැකිවූ බවත් පොලීසිය පැවසීය.
මහියංගණය වැඩබලන මහේස්ත්‍රාත් එස්.ගොවින්න මහතා අද (29) දහවල් මෙම ස්ථානයට පැමිණ මුලික පරික්ෂණ සිදු කළේය.
ඉන් අනතුරුව මෙම මෘත දේහයන් දෙක මහියංගණ අධිකරණ වෛද්‍ය වෙත යොමු කරන ලෙසට පොලීසියට නියෝග කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරාව පොලීසිය විසින් සිදු කරනු ලබයි.
