දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය
June 29, 2026 07:45 pm
සම්බුද්ධ දර්ශනය මෙරටට දායාද කරමින් අනුබුදු මිහිදු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අද (29) දිනට යෙදී තිබුණි.
ඒ වෙනුවෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථානවලට රැස්ව සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරත වීය.
පොසොන් පොහොය නිමිත්තෙන් දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය අද දවස පුරා අනුරාධපුර රුවන්වැලි මහ සෑ පුදබිම කේන්ද්‍ර කරගනිමි සිදුවීය.
දිවයිනේ නන්දෙසින් රුවන්වැලි මහ සෑ සලපතල මළුවට රැස්වූ සැදැහැවතුත් උපෝසථ සීලයෙහි පිහිටුවමින් උදෑසන 5.45ට පෝදා සජීව විකාශය ආරම්භ කෙරුණි.
නුබුදු මිහිදු මා හිමියන් ඉත්තිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් සහ අනාගාමී භණ්ඩුක උපාසක යන ධර්මදූත පිරිස සමඟින් ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ අද වැනි පොහෝ දිනකදී මිහින්තලාවට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
මිථ්‍යාදෘෂ්ටියට මුල් තැන දී සිටි එවක ශ්‍රී ලාංකිකයා බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ශිෂ්ටසම්පන්න සමාජ ක්‍රමයක් වෙත අවතීර්ණ වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.
ශිල්ප ශ්‍රෙණි 18ක පිරිස් ඉන්දියාවේ සිට මෙරටට පැමිණීම, දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන සඟමිත් තෙරණිය මෙරටට වැඩමකිරීම මහින්දාගමනයේ ප්‍රතිඵල වෙයි.
මිහිඳු හිමියන් වැඩි මිහින්තලය සහ අනුරපුර පූජා භූමිය මුල් කරගනිමින් සෑම වසරකම පොසොන් පොහෝ දිනයේ පිංකම් පැවැත්විණි.
අද උදෑසන සිටම අනුරාධපුරය අටමස්ථාන සහ මිහින්තලා පුදබිම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේන් පිරී ඉතිරී පැවතුණි.
දහවල් සම්බුද්ධ පූජාව පිළිගැන්වීම සිදුකෙරුණේ දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙනි.
මේ අතර, දෙරණාභිවන්දනා පොසොන් නමස්කාරයේ නිමාව සනිටුහන් වුණේ කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමියන්ගේ වැඩමවීමෙන් ලක්වැසියන්ට සෙත්පතා සිදුකළ ආශිර්වාද පහන් පූජාවෙනි.
