නිරන්තරයෙන් වෙනස්වෙන රුපියලේ අද අගය
June 30, 2026 11:39 am
මහ බැංකුව විසින් අද (30) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.66ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 341.30ක් ලෙස සටහන් වී තිබේ.
කෙසේවෙතත්, අද දිනයේදී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් වාර්තා වී ඇත.
මේ වනවිට විවිධ බැංකු අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 330.20 සිට රුපියල් 332.50 දක්වා මිල පරාසයක පවතින බව සඳහන්වේ.
ඒ අනුව අද පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු. 332 - රු. 341
මහජන බැංකුව - රු. 330.20 - රු. 340.58
සම්පත් බැංකුව - රු. 332 - රු. 341
කොමර්ෂල් බැංකුව - රු. 330.55 - රු. 340.50
HNB - රු. 332.50 - රු. 340.75
සෙලාන් බැංකුව - රු. 331.75 - රු. 342
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා තහවුරු කර තිබේ.
2026 පෙබරවාරි අගභාගයේ සිට මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් හේතුවෙන් බාහිර අංශය කෙරෙහි එල්ල වූ බලපෑම් මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දී ඇත.
ඒ අනුව, අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 354 ඉක්මවා ගොස් තිබුණි.
පසුගිය මැයි 12 වනදා එය සටහන් වී තිබුණේ රුපියල් 354.03ක් ලෙසය.
කෙසේ නමුත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මාසයේදී ප්‍රකාශ කළේ, වත්මන් රුපියල අවප්‍රමාණය වීම 2022 වසරේ සිදු වූ දරුණු කඩා වැටීමට වඩා වෙනස් එකක් බවය.
වර්ථමානයේ රුපියල පහළ යාමට හේතු වී ඇත්තේ දේශීය සිද්ධීන් නොව ගෝලීය තත්ත්වයන් බව ඔහු පෙන්වා දුන්නේය.
2022 මාර්තු-අප්‍රේල් කාලසීමාව තුළ අනෙකුත් කලාපීය මුදල් ඒකක ස්ථාවරව පවතිද්දී, ශ්‍රී ලංකා රුපියල රුපියල් 370 දක්වා බිඳ වැටුණේ දේශීය සාධක හේතුවෙන් බව ඔහු සඳහන් කළේය.
