අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ
June 30, 2026 01:50 pm
අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වෙයි.
රුපියල් 80,000කට ආසන්න විදුලි බිල්පතක් නොගෙවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, සෑම දුම්රිය ස්ථානයකම විදුලි බිල්පත් ගෙවීම් සිදු කරනු ලබන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන දෝෂ හේතුවෙන් මෙවැනි සිදුවීම් මීට පෙර ද වාර්තා වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
මීට පෙර දුම්රිය ස්ථාන කිහිපයක දුරකථන සම්බන්ධතා විසන්ධි කර තිබූ අතර, මේ වන විට විදුලි සැපයුම ද විසන්ධි කිරීම හේතුවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් දුම්රිය මගී ජනතාව ද අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.
