ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව අධිකරණයට මෝසමක්

ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව අධිකරණයට මෝසමක්

July 2, 2026   01:49 pm

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය භාරයට ගෙන තිබෙන සිය පරිගණක, ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රෝනික උපාංග මුදාහරිණ ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ලෙස ඉල්ලා ඩිල්ෂාන් එල්මෝ ඇලෝසියස් ද සිල්වා නැමැත්තකු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් හෙට (03) කරුණු දක්වන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

අදාළ පුද්ගලයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. 

මෝසම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව සිය සේවා දායකයාගේ නිවස පරීක්ෂාවට ලක්කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මෙම පුද්ගලයාට සහ ඔහුගේ පුත්‍රයාට අයත් laptop සහ ඇපල් වර්ගයේ දුරකථන සිය භාරයට ගෙන තිබෙන බව පැවසීය. 

එම නිසා අදාළ පුද්ගලයාට බැංකු කටයුතු ඇතුළු එදිනෙදා ක්‍රියාකාරකම් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය. 

විමර්ශනවලට අවශ්‍ය කරන සියලු තොරතුරු ලබාදීමට සිය සේවා දායකයාට ගැටලුවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අදාළ උපකරණ මුදා හරින ලෙස නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කරන බවත් සඳහන් කළේය. 

ඒ අනුව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.