සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට

July 4, 2026   07:06 pm

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අද (04) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 

එහි වෛද්‍ය පීඨය තුළ මේ වන විට සිසුන් 750කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරමින් සිටිති.

වාර්ෂිකව සිසුන් 160 කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙම විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

මෙම නව වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 2876ක පමණ මුදලක් දරා ඇති අතර, සෞදි රාජ්‍ය විසින් රුපියල් බිලියන 15කට ආසන්න මුදලක් ලබාදී ඇත.

මෙම පීඨ සංකීර්ණය, සිසුන් 500කට එකවර නේවාසිකාගාර පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයකින් සහ සිසුන් 1060 දෙනෙකුට එකවර අසුන් ගතහැකි ශ්‍රවණාගාරයකින් හා පරිපාලන ගොඩනැගිල්ලකින්ද සමන්විතය.

අසුන් 250කින් සමන්විත දේශන ශාලා දෙකක්ද, සිසුන් 200කට අසුන් ගත හැකි දේශන ශාලාවකින්ද, සිසුන් 160කට ආසන්න සංඛ්‍යාවකට අසුන්ගත හැකි දේශන ශාලා තුනක් ද වශයෙන් සමස්ත දේශන ශාලා හයක් මෙහි අන්තර්ගතව තිබේ.

තවද පෙර සායනික මධ්‍යස්ථානයකින් සහ පුස්තකාල, ආපනශාලා සහ කාර්ය මණ්ඩල නේවාසිකාගාර වැනි නොයෙකුත් පහසුකම්ද දක්නට ලැබෙන මෙම වෛද්‍ය පීඨ පරිශ්‍රය අක්කර 20ක භූමි ප්‍රමාණයක් දක්වා විහිදී ඇත.

එමෙන්ම මෙම වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතියට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව අංග සම්පූර්ණ විද්‍යාගාර, රසායනාගාර සහ අනෙකුත් පහසුකම්වලින්ද සමන්විත වූ මහල් නවයකින් යුත් මහාචාර්ය ඒකකයක්ද මේ වනවිට ඉදිවෙමින් පවතියි.