කුඹල්වෙළ මහමෙව්නා අසපුව කන්දේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ

කුඹල්වෙළ මහමෙව්නා අසපුව කන්දේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ

July 5, 2026   02:31 pm

බණ්ඩාරවෙල, කුඹල්වෙළ මහමෙව්නා භාවනා අසපුව පිහිටි කන්දේ හටගත් ලැව්ගින්න අද (05) දහවල් වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා ප්‍රකාශ කළේය. 

ඊයේ (04) රාත්‍රියේ අසපු භූමිය අවට රක්ෂිතයේ පැතිර යමින් තිබූ මෙම ගින්න, යුද හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ අසපුවේ වැඩසිටින භාවනානුයෝගී හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් මධ්‍යම රාත්‍රිය වනවිට පාලනය කිරීමට කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය, තද සුළං තත්ත්වය සහ කන්දේ පවතින බෑවුම් සහිත ස්වභාවය හේතුවෙන් අද පෙරවරුවේ සිට ගින්න වරින්වර සක්‍රීය වෙමින් සීඝ්‍රයෙන් පැතිර ගියේය.

ඒ අනුව ගින්න නිවාදැමීමට අද පෙරවරුවේ නැවතත් ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කළ අතර, එහිදී ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිව ඇත.

ගින්න හේතුවෙන් විනාශ වූ සමස්ත භූමි ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැත.

මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කය පුරා කැලෑ ගිනි තැබීම් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මීට දින කිහිපයකට පෙරද බදුල්ල නගරයට ආසන්න අළුගොල්ල කන්දේ හටගත් ගින්නකින් අක්කර 40කට වැඩි භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.

කැලෑ ගිනි තැබීම්වල වරදකරුවන්ට රුපියල් 200,000ක් දක්වා වූ දඩ මුදලක් අයකිරීමට මෙන්ම වසර 7ක් දක්වා වූ සිරදඬුවම් පැනවීමට නීති ප්‍රතිපාදන ඇත.

ඒ අනුව 071-3510510 සහ 077-3957880 යන දුරකථන අංක මගින් ගිනි තැබිම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ දැනුම්දිය හැකිය.