දේශගුණික බාධා මැද අමෙරිකාව 250 වැනි නිදහස් දිනය උත්කර්ෂවත්ව සමරයි
July 5, 2026 08:48 pm
ලොව බලවත්ම රාජ්‍යයක් වන අමෙරිකා එක්සත් ජනපදය සිය 250 වැනි නිදහස් සංවත්සරය දැවැන්ත ගුවන් සංදර්ශන සහ මනරම් ගිනිකෙළි සංදර්ශන මඟින් අති උදකර්ෂවත් අන්දමින් සමරා තිබේ.
කෙසේ වෙතත්, රට පුරා බලපෑ දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උත්සව කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.
1776 ජූලි 4 වන දින බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් අමෙරිකානු ජනපද 13 ක් එක්ව නිදහස් ප්රකාශනයට අත්සන් තැබීම සිහිපත් කරමින් මෙම ජාතික නිවාඩු දිනය සමරනු ලබයි.
අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද වී වොෂින්ටන් නුවර 'නැෂනල් මෝල්' හි ආරම්භ වූ දැවැන්ත ජනහමුවක් අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, "අමෙරිකානු සිහිනය නැවත පැමිණ තිබෙනවා" යනුවෙනි. එහිදී ඔහු විසින් එය ලොව විශාලතම ගිනිකෙළි සංදර්ශනය ලෙස හඳුන්වන ලද සුවිශේෂී ගිනිකෙළි සංදර්ශනයක්ද ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කෙරුණි.
කොමියුනිස්ට්වාදය ප්‍රතික්ෂේප කිරීම සහ අවි දැරීමේ අයිතිය වැනි දේශපාලන තේමාවන් ස්පර්ශ කරමින් මධ්‍යම රාත්‍රියට ආසන්න වනතුරු කථා කළ ජනාධිපතිවරයා, මෙම මොහොත "දෙවියන් විසින් ලියන ලද අමෙරිකාවේ ස්වර්ණමය යුගයේ අරුණෝදය" ලෙස හැඳින්වීය. කෙසේ වෙතත්, මෙම ඓතිහාසික සැමරුම තමන් කේන්ද්‍ර කරගනිමින් දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවට ට්‍රම්ප් වෙත විවේචන එල්ල වෙමින් පවතීන බව විදෙස් පුවත් වාර්තා කරයි.
නිදහස් දින සැමරුම් පැවැත්වෙන අතරතුර අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට දැඩි උණුසුම් කාලගුණයක් සහ දරුණු අකුණු සහිත වැසි ඇතිව තිබේ.
වොෂින්ටන් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37°C දක්වා ඉහළ ගිය අතර, නිව් ජර්සි ප්‍රාන්තයේ එය සෙල්සියස් අංශක 41°Cක් ලෙස වාර්තා විය.
අයහපත් කාලගුණය හේතුවෙන් නිව් ජර්සි, පෙන්සිල්වේනියා, මේරිලන්ඩ් සහ කොලරාඩෝ වැනි ප්‍රාන්තවල ඇතැම් පෙළපාලි අවලංගු කිරීමට සිදු විය.
මීට අමතරව, හමාගිය දරුණු සුළඟ හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක නිවාස 750,000 කට අධික ප්‍රමාණයක විදුලි බලය බිඳවැටී තිබුණි.
දේශපාලන මතිමතාන්තරවලින් තොරව පොදු ජනතාව රට පුරා සංවිධානය කර තිබූ "අමෙරිකාස් බ්ලොක් පාටි" සඳහා විශාල වශයෙන් එක්රොක්ව ඇත.
අමෙරිකාවේ ජීවත්වන හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනාම මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙනුවෙන් අදහස් දක්වා තිබුණි.
ජෝ බයිඩන්: "සියලු මිනිසුන් සමානව උපත ලබා ඇත යන පොරොන්දුව තවමත් ඉටුකරමින් පවතින කාර්යයක්."
බැරැක් ඔබාමා: "සෑම පරම්පරාවක්ම පෙර පරම්පරාවෙන් ඉතිරි වූ නිම නොකළ කාර්යයන් භාරගෙන එය ඉදිරියට ගෙන යා යුතුයි."
ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්: "ඉදිරි වසර 250 සඳහා අමෙරිකානුවන් නිකම්ම බලා සිටින්නන් නොව, සැබෑ පුරවැසියන් විය යුතුයි."
බිල් ක්ලින්ටන්: "අද අප මේ සැමරුම පවත්වන්නේ දැඩි දේශපාලන බෙදීම් සහ අපගේ ප්රජාතන්ත්රවාදයට එල්ල වී ඇති බරපතල තර්ජන මධ්‍යයේයි."
