මීගමුව බන්ධනාගාරයේ ගැටුම විමර්ශනයට කමිටුවක්
July 6, 2026 06:47 am
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසින් අදාළ විමර්ශන කමිටුව පත් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1.00ට පමණ ගැටුමක් හටගෙන තිබුණි.
රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඩුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය පැවසීය.
ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර තවත් රැඳවියන් 34දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේය.
ඉන් බරපතළ තුවාල ලැබූ රැදවූවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවූ බව ද සදහන්.
පසුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලයක් මත නැග විරෝධතාවය පළ කළ අතර ඉන් ඇදවැටී තවත් රැදවියන් සිව් දෙනෙකු පසුව රෝහල්ගත කෙරිණි.
මේ අතර රැදවියන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මීගමුව දිස්ත්‍රික් රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගමලත්ගේ මහත්මිය පැවසුවේ රැඳවියන් 10දෙනෙකු පමණ ශෛල්‍යකර්මවලට ද භාජනය කළ බවය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තිබූ අතර ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබුණි.
එමෙන්ම බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ රැදවූවන් පිළිබද තොරතුරු බලධාරීන් විසින් ලබා නොදුන් බවට පවසමින් නොසන්සුන්කාරී ලෙස හැසිරිණි.
කෙසේ වෙතත් පොලිසිය මැදිහත්ව රෝහල්ගත කළ රැඳවියන් සම්බන්ධ තොරතුරු ඔවුන්ට ලබා දුන් අතර තවත් පිරිසක් රෝහල වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබුණි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා මෙලෙස අදහස් පළ කළේය.
"මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා. එයින් 36 දෙනෙක් රෝහල් ගත කරලා තියෙනවා. එයින් දෙදෙනෙක් මිය ගොස් තියෙනවා. තවත් තිදෙනෙක් ප්‍රතිකාර ලබලා පල්ලන්සේන කඳවුර වෙත මාරු කරලා තියෙනවා. මෙම මීගමුව බන්ධනාගාරයේ 2417 ක රැඳවියන් ප්‍රමාණයක් රඳවලා තියෙනවා. මේ වන විට ඇතුළත තත්ත්වය බන්ධනාගාර නිලධාරීන් විසින් සමථයකට පත් කරලා තියෙනවා. ඊට අමතරව බන්ධනාගාරය පිටත ආරක්ෂාව සම්බන්ධව පොලීසිය, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සම්බන්ධ වෙලා තියෙනවා ආරක්ෂාව ලබා දීම සඳහා.
මෙය රැඳවියන් අතර ගැටුමක් පමණක් වන අතර නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වැඩිදුරටත් දන්වනවා. රැඳවියන්ගේ ඥාතීන්ට මේ අවස්ථාවේ මම ඉල්ලා සිටිනවා කිසිදු කලබලයක් හෝ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස. මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් මේ සිද්ධියට අදාළව විමර්ශන කණ්ඩායමක් පත් කරලා තියෙනවා.ඇතුළත පාලනය කිරීමට අදාළව රැඳවියන්ගේ ද සහයෝගය ලබාගෙන මෙය සමථයකට පත් කර ගැනීමට අපිට හැකි වුණ බව වැඩිදුරටත් අපි කියා සිටිනවා. ඔවුන්ගේ මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා වෙත ඉල්ලීම් කීපයක් ද ඉදිරිපත් කරා. ඒ සම්බන්ධව කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් ඒ අවස්ථාවේ රැඳවියන්ට දැනුම් දීමට කටයුතු කරා."
