ජූලි 15 සිට යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් කෙරේ
July 8, 2026 09:41 pm
යල කන්නයේ ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට අද (8) උපදෙස් ලබාදී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඒ සඳහා දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස් කර, නව වී මිලට ගැනීමට සූදානම් කිරීමේ කටයුතු සතොස සමග එක්ව සිදු කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බවය.
යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත.
මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 475,000ක් පමණ කුඹුරු ඉඩම් වගා කර ඇති බවද, කිසිදු කාලගුණික විපර්යාසයක් මෙවර වි වගාවට හානිකර ලෙස බලපා නැති බවද ඒ නිසා සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බව ද මෙහිදි සඳහන් කෙරිණි.
2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා බිලියන 6ක් භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවද, ඊට අමතරව ඔඩපන ණය ලෙස කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත තවත් බිලියන 10ක් රජයේ බැංකු මගින් වෙන් කර ඇති බවද මෙහිදි අනාවරණය විය.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය ලබන 15වනදා සිට වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ඇතිව අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවත් මේ අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ, 2024 වසරේදී වී මෝල් හිමියන් කැඳවා වී මිල වැඩි නොකරන ලෙස පැවසීමට සිදු වුවත්, මේ වන විට වී මෝල් හිමියන් කැඳවා ප්‍රකාශ කරන්නට සිදුව තිබෙන්නේ වී මිල අඩු නොකරන ලෙස යැයිද, එසේ කරන්නට සිදුව තිබෙන්නේ වසර එකහමාරක කාලය තුළ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වීම නිසා බව ද මෙහිදී සඳහන් කෙරිණි.
එසේම 2024දී රජයට වී ලබා දෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටීමට සිදුවූ බවද, එහෙත් ගොවින් ඒ ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොදැක්වූ බවද මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගනු ලබන තෙක් ගොවීන් බලා සිටින තත්වයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි.
2025 යල මහ දෙකේදිම බිලියන 16ක වී මිලදී ගෙන තිබෙන බවද, දැනට වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල වී තොග මෙට්‍රික්ටොන් 120,000ක් පමණ පවතින අතර, එයින් මෙට්‍රික්ටොන් 60,000 පමණ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ද තවත් මෙට්‍රික් ටොන් 20,000 ක වී තොගයක් සතොස වෙත නිකුත් කිරිමට මේ වන විට පියවර ගෙන ඇති බවද මෙහිදී ප්‍රකාශ විණි.
එසේම අවශ්‍යතාව පරිදි සමූපකාර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන සතු ගබඩා මෙන්ම පෞද්ගලික අංශයේ ගබඩා ද කුලී පදනම මත ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
