සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම රජයේ අරමුණයි - ජනපති

සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම රජයේ අරමුණයි - ජනපති

July 9, 2026   10:19 am

හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ ස්ථාවර අරමුණ බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ප්‍රතිපාදනයක් ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ ඊයේ (08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක් වෙමිනි.

රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම යටතේ ක්‍රියාත්මක වන "පේෂන්ට් හෙල්ත් ඇප්" (Patient Health App), ටෙලි මෙඩිසින් (Tele-medicine) සහ රෝගීන්ගේ වාර්තා ඕනෑම රෝහලකින් ලබා ගත හැකි ඒකාබද්ධ ජාලයක් (National Electronic Health Record) ස්ථාපිත කිරීමේ ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

තාක්ෂණික වශයෙන් දියුණු පහසුකම් දිවයින පුරා ස්ථාපිත කිරීමෙන් රජයේ රෝහල්වලින් ජනතාවට කාර්යක්ෂම සහ ප්‍රමිතිගත සේවාවක් සැපයිය හැකි බවත්, එමඟින් පෞද්ගලික අංශයෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී ජනතාවට දැරීමට සිදු වන අධික වැය බර අවම කරගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය රජයන් විසින් ප්‍රාග්ධන වියදම් නතර කිරීම නිසා අතරමග නැවතී තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහාපරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් වත්මන් රජය යටතේ යළි ආරම්භ කර ඇති බව මෙහිදී අනාවරණය විය.

මොණරාගල දිස්ත්‍රික් රෝහලේ පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය, ත්‍රිකුණාමලය, අම්පාර සහ හලාවත රෝහල්වල හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකක ඇතුළු ව්‍යාපෘති 26ක් මෙලෙස යළි අරම්භ කර තිබේ.

මේ වන විට සමස්තයක් ලෙස ඉදිකිරීම් ව්‍යාපෘති 48ක කටයුතු සක්‍රියව ක්‍රියාත්මක වෙමින් පවතී.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා "ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන" ගොඩනැගීමේ වැඩපිළිවෙළ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම, රෝහල් සඳහා ගිලන් රථ ලබා ගැනීමේදී සාම්ප්‍රදායික වෑන් රථ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූ ඉහළ තාක්ෂණික උපකරණ සහිත ගිලන් රථ පමණක් එක් කර ගැනීමටද තීරණය විය.

ඖෂධ හිඟයකින් තොරව ලබා දීම සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට තාක්ෂණික විසඳුම් සෙවීම සහ ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පහසුකම් පුළුල් කිරීමට UNDP සහ UNICEF ආයතනවල සහාය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය. සෞඛ්‍ය කාර්යමණ්ඩල සමාලෝචනයක් සිදු කිරීමටත්, නවක වෛද්‍යවරුන්ගේ ගැටලු සහ බඳවා ගැනීම් පිළිබඳ ගැටලු මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර විසඳීමටත් මෙහිදී එකඟතාව පළ විය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ චිත්‍රපටි අංශයට භෞතික සම්පත් ලබා දීම, මාධ්‍යවේදී පුහුණු වැඩසටහන් සහ පාසල් මාධ්‍ය සමාජ බිහි කිරීමේ ප්‍රගතියද මෙහිදී විමසා බැලුණි. සියලු මාධ්‍යවේදීන්ට සහ රජයට තොරතුරු හුවමාරු කර ගත හැකි විශේෂ මාධ්‍ය මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමටද යෝජනා විය.

ජනාධිපතිවරයාගේ විශේෂ අවධාරණය: පවතින පැරණි සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් මිදී තැපැල් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කඩිනමින් නවීන තාක්ෂණයෙන් යාවත්කාලීන (Update) කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.