ඩෙංගු මරණ 45 දක්වා ඉහළට - රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි 

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට - රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි 

July 9, 2026   11:14 am

මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය මේ බව සඳහන් කළේය. 

ඒ අනුව මේ දක්වා රට පුරා මේ වසරේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 65,034කි. 

ජූලි මාසයේ පළමු දින 08 තුළ පමණක් රෝගීන් 9,654ක් වාර්තා වී ඇති අතර, ඊයේ (08) දිනට පමණක් රෝගීන් 1,300ක් පමණ වාර්තා වු බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසීය. 

මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. 

මේ වනවිට ප්‍රධාන රෝහල් කිහිපයකට ධාරිතාවය උපරිමයට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනයක් මෙන්ම තදබදයක් පවතින බවද වෛද්‍යවරයා පැවසීය.

මේ අතර ඩෙංගු ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය, නීති පීඨය, අධ්‍යාපන පීඨය හා කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු සතියක කාලයක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට තීරණය කර තිබුණි. 

එම විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල සිසුන් 71 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳී ඇති බවට හඳුනාගෙන ඇති බවය. 

මේ අතර ඩෙංගු මර්දනයේදී ඉතා වෙහෙසකර කාර්යභාරයක් සිදුකරන කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැලදී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා සඳහන් කළේය.