ඩෙංගු සොයා වාද්දුවේ දී ඩ්‍රෝන මෙහෙයුමක්

ඩෙංගු සොයා වාද්දුවේ දී ඩ්‍රෝන මෙහෙයුමක්

July 10, 2026   02:21 pm

කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු කීටයන් බෝවන බවට හඳුනාගෙන ඇති පින්වත්ත, වාද්දුව සහ මොල්ලිගොඩ මහජන සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (10) විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. 

වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ සිදුකළ මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන ඒකකය සතු ඩ්‍රෝන කැමරා තාක්ෂණය උපයෝගී කර ගෙන ඇත.

මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සාමාන්‍ය පරිදි ළඟාවීමට නොහැකි උස් ගොඩනැගිලි සහ වහලවල් මත ඩෙංගු කීටයන් බෝවන ස්ථාන පවතින්නේද යන්න ඩ්‍රෝන කැමරා ආධාරයෙන්  නිරීක්ෂණය කරනු ලැබීය.

වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කලිකා ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් පරිදි, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. එම්. එස්. සංජීව මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසක් සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම සාර්ථකව සිදුකරන ලදී.