ඝාතනවලට යතුරුපැදි දුන්න පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට
July 11, 2026 04:51 pm
පානදුර සහ කළුතර පොලිස් කොට්ඨාසවල පසුගිය කාලය පුරා සිදුවූ ඝාතන සඳහා යතුරුපැදි සැපයූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හැවිරිදි සැකකරු වලපල පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන "වලපල පසියා" නමැති අයෙකි.
සැකකරු සමග යතුරුපැදි දෙකක්, නවතම ආරක්ෂක හිස් වැසුම් 2ක්, ජැකට් 2ක්, ස්මාට් ජංගම දුරකතන 2ක්, බැටරි ආරෝපණ 2ක් ඇස් දෙක පමණක් විවෘත මුහුණ වැසෙන නින්ජා කට්ටල දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 10කට අධික ප්‍රමාණයක් සහ හොරයින් මත්ද්‍රව‍්‍ය ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
ඩුබායි සුද්දාගේ මත්ද්‍රව‍්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා වන වලපල පසිඳු නොහොත් පසියා නමැත්තා පානදුර සාගර මාවතේ නිවාඩු නිකේතනයක රැඳී සිටින බවට පානදුර කොට්ඨාස බුද්ධි අංශයට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහාන් විශ්වනාත් මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය 09 වෙනිදා එම නිවාඩු නිකේතනය ඉදිරිපිටදී මත්ද්‍රව‍්‍ය සමඟ සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
අනතුරුව ඔහුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි සුද්දාගේ උපදෙස් මත ඝාතන සඳහා සූදානම් කිරීමට භාරදී තිබූ යතුරුපැදි දෙකක් මෙන්ම ආරක්ෂක හිස් වැසුම් ඇතුළු ජැකට් පින්නවල ප්‍රදේශයේ යතුරුපැදි කාර්මිකයකුගේ නිවසේ තිබී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
සැකකරු විසින් එම යතුරුපැදි දෙක වර්ණ වෙනස් කර, ස්ටිකර් අලවා, වේගය වැඩිකර ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කිරීම සඳහා යතුරුපැදි දෙක මීට දින කිහිපයකට පෙර එම කාර්මිකයා වෙත ලබාදී ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ විය.
එම යතුරු පැදි දෙක සමග රැගෙන යන බව පවසා ආරක්ෂක හිස් වැසුම් දෙකක් මෙන්ම නව ජැකට් කාර්මිකයා වෙත වෙත ලබාදී තිබූ බව සඳහන්ය.
අදාළ යතුරුපැදි දෙක සැකකරු අත්අඩංගුවට ගත් දින බණ්ඩාරගම ප්‍රදේශයේ තැබීම සඳහා පෙර දින ඩුබායි සුද්දා උපදෙස් ලබාදී ඇති බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.
එදින සවස් වන විට වේලාව තමන් වෙත වට්සැප් තාක්ෂණය ඔස්සේ පවසන බවට ඩුබායි සුද්දා පැවසූ බව සැකකරු පවසා ඇති බව සඳහන්ය.
සැකකරු අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එදින සිදුකිරීමට නියමිතව තිබූ ඝාතන කිහිපයක් වළක්වා ගත හැකි වූ බව පොලිසියය ප්‍රකාශ කර සිටියි.
සැකකරු මේ අයුරින් පසුගිය කාලය පුරා ඩුබායි සුද්දාගේ උපදෙස් මත පානදුර කුඩු සළින්දුගේ කළුතර නවීන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඝාතනය සඳහා යතුරුපැදි සපයා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.
පොලිස් භාරයට ගත් යතුරුපැදි දෙකේ එන්ජින් සහ චැසි අංක මකා දමා තිබූ බවත් ඒවා සොරා ගත්තේ කුමන ප්‍රදේශයෙන් ද යන්න සැකකරුගෙන් තවදුරටත් විමර්ශන කරන බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.
