ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

July 13, 2026   09:32 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොණරාගල, මාගන්දනමුල්ල මාර්ගයේ ලිදේකඩේ හන්දිය ප්‍රදේශයේදී සිදු අනතුරකින් වයස අවුරුදු 52ක් වූ පුද්ගලයෙකු මියගොස් තිබේ.

මොණරාගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් යතුරුපැදිකරු සහ ලොරි රථයේ රියැදුරු තුවාල ලබා සිරිගල රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මෙලෙස මියගොස් තිබේ.

මොණරාගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මහනුවර - යාපනය ප්‍රධාන මාර්ගයේ ගොවිපල හන්දිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතලේ දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් පදික කාන්තාව බරපතළ තුවාල ලබා කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර වැලිවේරිය බියගම මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී බියගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රීරෝද රථයක ගැටී අනතුරුව කාර් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් එක් ත්‍රිරෝද රථයේ රියැදුරුවරයෙකු බරපතළ තුවාල ලබා උඩුපිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ. 

එමෙන්ම කාර් රථයේ රියැදුරු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හොරණ, මීපේ මාර්ගයේ මිල්ලෑව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීපේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොරගහහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

යාපනය, මන්නාරම මාර්ගයේ පල්ලිකුඩා හන්දියේදී මාන්නාරම දෙසට ධාවනය වූ බස් රථයක් දකුණට හැරවීමට යාමේදී පිටුපසින් ගමන්ගත් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ තෙලිකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුනරීන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.