වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම රජයේ ඉලක්කයයි - ඇමති නලින්ද
July 14, 2026 02:52 pm
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (13) දිනයේදී ආරම්භ කිරීමත් සමග ඊයේ දිනයේදී රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් වී මිලදී ගැනීම් සිදුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව මෙට්‍රික් ටොන් 25ක වී මිලදී ගැනීම් ඊයේ දින සිදුව ඇති බවය.
රජය බලාපොරොත්තු වනුයේ සමස්තය වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට බවත් පැවසූ අමාත්‍යවරයා ඒ අනුව එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2,500ක් මිලදී ගැනීමට කටයුතු කරන බවද මෙහිදී පැවසීය.
එමෙන්ම රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී දැනට වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩා ප්‍රමාණවත් නොවන්නේ නම් පෞද්ගලික අංශයයේ ගබඩා තාවකාලික පදනම මත ලබා ගනිමින් වී මිලදී ගැනීම් සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
"ඊයේ තමයි මේක ආරම්භ කළේ ක්‍රමානුකූලව වී ගබඩා 148ක වී මිලදී ගැනීමට කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 39,500ක් වී මිලදී ගන්න. ඊයේ දිනයේදී මෙට්‍රික් ටොන් 25ක් ලැබිලා තිබුණා. රුපියල් මිලියන 3ක පමණ වී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන තිබුණා. දැන් 2,500 මදිද වැඩිද අඩුද කියන එක මිලදී ගැනීමේ ක්‍රියාවලිය යනකොට තමයි තීන්දු කරන්න වෙන්නේ දැනට එක් ගොවියෙකුගෙන් 2,500 තමයි එක් ගොවියෙකුගෙන් මිලදී ගන්නේ. මේ ගබඩාවල ඉඩපහසුකම් නොමැති වුණොත් රජය මැදිහත්වෙලා පුද්ගලික අංශයේ ගබඩා තාවකාලිකව අරගෙන ගබඩා කිරීම් කටයුතු කරනවා."
