මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිවාසගත දරුවන් පුනරුත්ථාපනයට විශේෂ වැඩපිළිවෙළක්

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිවාසගත දරුවන් පුනරුත්ථාපනයට විශේෂ වැඩපිළිවෙළක්

July 14, 2026   03:31 pm

මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පරිවාසගත කර සිටින දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නීය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (14) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති කාන්තා සහ ළමා අනුකමිටු රැස්වීමට එක්වෙමිනි.

කාන්තා හා ළමා විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටලු, තොරතුරු සහ අවශ්‍යතා දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට සමගාමීව මෙම කාන්තා හා ළමා අනුකමිටු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටුවා ඇති බව ද එහිදී සඳහන් කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් හා දරුවන් සම්බන්ධ සංඛ්‍යාත්මක දත්ත සහ වාර්තා සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරිය, දත්තවල පවතින අඩුපාඩු කඩිනමින් නිවැරදි කරන ලෙස සියලු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු පිළිබඳවද සමාලෝචනයක් සිදු කළ අතර, එම පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවද ඇය ප්‍රකාශ කළාය.

තවද, දැනට පරිවාස භාරයේ සිටින දරුවන් අතරින් වෘත්තීය අධ්‍යාපනයට යොමු කළ හැකි දරුවන් පිළිබඳ වාර්තාවක් සකස් කර, රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ඔවුන්ට නිපුණතා ලබාදී නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස්වරියට අමාත්‍යවරිය උපදෙස් ලබා දී තිබේ.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පරිවාසගත දරුවන් නැවත සමාජයට එක්වීමේදී ස්වාධීන, වගකීමෙන් යුතු පුරවැසියන් ලෙස ජීවිතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමයි.