ඩෙංගු මරණ 49යි - සමස්ත රෝගීන්  71,000 ඉක්මවයි

ඩෙංගු මරණ 49යි - සමස්ත රෝගීන්  71,000 ඉක්මවයි

July 15, 2026   09:56 am

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව ඊයේ (14) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 71,235ක් වාර්තා වී ඇති බවත් ඩෙංගු මරණ 49ක් වාර්තා වී ඇති බවත් එම ඒකකය සඳහන් කළේය.

ඊයේ (14) දිනට පමණක් රෝගීන් 1,284ක් වාර්තා වී ඇත.

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 37,490ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 14,736 ක් ලෙසද දැක්වේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,229ක්ද වාර්තා වී තිබේ.

මේ අතර ජූලි මාසයේ ගතවූ දින 14 තුළ රෝගීන් 15,856ක් වාර්තා වී ඇත.

වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538කි.