උසස් පෙළ කල් දාන්නැයි ඉල්ලූ පෙත්සමේ නියෝගය 23 වෙනිදා
July 16, 2026 12:40 pm
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම වසරේ පළමුවරට හා දෙවනවරට විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම අද (16) අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදුවිය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවය.
දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය වැනි කාරණා හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය යටතේ දැනට සැලසුම් කර ඇති පරිදි එළඹෙන අගෝස්තු මස උසස් පෙළ විභාගය පවත්වනු ලැබුවොත් සිසුන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බව නීතිඥවරයා කියා සිටියේය.
එම නිසා අදාළ විභාගය මාස දෙකකින් කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් දැනට ප්‍රකාශයට පත් කර තිබෙන අපොස උසස් පෙළ විභාගය සඳහා නිකුත් කර තිබෙන කාල සටහන බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 378,000ක් පමණ ලියාපදිංචි වී තිබෙන බවය.
ඉන් නව දෙනකු පමණක් මෙම විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බව සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
විභාගවලට පෙනී සිටීම සඳහා සිසුන් සාමාන්‍යයෙන් වාර්ෂිකව පාසැල් පැමිණීමෙන් සියයට 80 ක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වුවද මෙම පෙත්සම්කරුවන් අතුරින් එක් පෙත්සම්කාර ශිෂ්‍යයකුගේ පාසැල් පැමිණීම සටහන් වී ඇත්තේ සියයට 7.2 ක් ලෙස බවත් ඔහු පැවසීය.
තවත් පෙත්සම්කරුවන් කීපදෙනෙකු පාසල් පැමිණීම වාර්තා කර තිබෙන්නේ සියයට 50, 53 යනාදී සීමාවන්වලයැයි පෙන්වා දුන් සොලිසිටර් ජෙනරාල්වරයා නිසි ලෙස පාසල් අධ්‍යාපන කටයුතුවලට පවා සහභාගි වී නොමැති සිසුන් තමන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කාලය ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශයක් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
උසස් පෙළ විභාගය කල් දමනු ලැබුවොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතුවලටද දැඩි අගතියක් සිදුවනු ඇති බව සොලිසිටර් ජෙනරාල්වරයා කියාසිටියේය.
ඒ අනුව පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කිරීමක් සිදු කර තිබෙන බවත් ඔවුන් අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවත් මෙහිදී සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පාර්ශ්වකරුවන්ට නියම කළේ, මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන සඳුදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසය.
ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද? නැත්ද? යන නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමති, එම අමාත්‍යාංශයේ ලේකම්, විභාග කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කර ඇත.
