බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධිය වසාදැමීමට ඉරානයේ වෑයමක් ?

බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධිය වසාදැමීමට ඉරානයේ වෑයමක් ?

July 16, 2026   12:50 pm

හෝමුස් සමුද්‍රසන්ධිය වසා දමා ගෝලීය ඉන්ධන ප්‍රවාහනයට කැපී පෙනෙන බලපෑමක් කර ඇති ඉරානය, සිය මිත්‍ර සංවිධානයක් වන යේමනයේ හූති කැරලිකරුවන් යොදවා රතු මුහුද ඉන්දීය සාගරයට යා කරන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධිය වසා දැමීමට උත්සහ කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සෞදි අරාබියේ නිපදවන ඉන්ධන ආසියානු කලාපය වෙත යොමු කෙරෙන්නේ රතු මුහුද ඔස්සේ යි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය පරිපාලනයට ඉරාන ගන්නා උත්සාහය මුල්කරගෙන අමෙරිකාව සහ ඉරානය අතර මේ වනවිට දරුණු ප්‍රහාර හුවමාරු වෙමින් පවතී.

ඒ අනුව අඛණ්ඩව පස්වැනි දිනටත් අමෙරිකාව ඊයේ (15) ඉරානය වෙත ප්‍රහාර එල්ල විය.

ඉරානය ආසන්නයේ පනවා ඇති නාවික බාධකය කඩකරමින් ඉරාන වරායක් බලා යාත්‍රා කරමින් පැවති ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වෙඩි තබා නැවැත්වීමට අමෙරිකානු මධ්‍යම විධානය සමත්ව තිබුණි.

ඉරානය ද තවදුරටත් අසල්වැසි කුවේට්, බහරේන් වැනි රටවලට පහරදෙමින් සිටී.

මේ අතර අමෙරිකාව ළමා පිළිකා රෝහලක් සහ සෙම්නාන් ගුවන් තොටුපොළ ඇතුළු සිවිල් ඉලක්ක වෙත පහරදෙන බවට ඉරානය චෝදනා කරයි.

මෙවන් පසුබිමක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට සමථයකට පැමිණීමට දැඩි උවමනාවක් ඇති බවය.