මියන්මාර මුහුද ආසන්නයේ බෝට්ටු දෙකක් පෙරළී අනතුරක්

මියන්මාර මුහුද ආසන්නයේ බෝට්ටු දෙකක් පෙරළී අනතුරක්

July 16, 2026   02:29 pm

මියන්මාර මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී යාමෙන් පුද්ගලයින් 500කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇති පරිදි, මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මියන්මාරයේ සිට පළායමින් සිටි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක්ය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මෙන්ම මුහුදේ රළු ස්වභාව නොතකා, ධාරිතාවට වඩා අධික පිරිසක් පටවාගෙන අනාරක්ෂිත ලෙස යාත්‍රා කිරීම හේතුවෙන් මෙම අනතුරට ලක්ව ඇති බව මූලික විමර්ශන මඟින් අනාවරණය වී තිබේ.

රෝහින්ග්‍යා යනු බංග්ලාදේශ දේශසීමාවට ආසන්නව පිහිටි මියන්මාරයේ රඛයින් පළාතේ ජීවත් වන සුළුතර මුස්ලිම් ජන කොට්ඨාසයකි.

මියන්මාරය තුළ ඔවුන් මුහුණ දෙන දැඩි වාර්ගික හා ආගමික හිංසා පීඩා මෙන්ම මානුෂීය අර්බුද හේතුවෙන්, බෝට්ටු මාර්ගයෙන් අනතුරුදායක ලෙස වෙනත් රටවලට සරණාගතයින් ලෙස පළා යාමට ඔවුන් වසර කිහිපයක සිටම මෙලෙස උත්සාහ කරමින් සිටිති.

අතුරුදන් වූ පිරිස සෙවීම සඳහා අදාළ අංශ විසින් මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට විදෙස් වාර්තා සැකපළ කරයි.