ප්‍රථම වරට පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනේ
July 18, 2026 06:34 pm
පෘථිවියෙන් බැහැරව වෙනත් සූර්ය පද්ධතියක පවතින, ජීවයට හිතකර කලාපයක පිහිටි, පෘථිවිය වැනි පාෂාණමය ග්‍රහලෝකයක් වටා වායුගෝලයක් පවතින බව විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ.
අපගේ සූර්ය පද්ධතියෙන් බැහැරවත් පෘථිවිය හා සමාන තත්ත්වයන් සහිත ලෝක පැවතිය හැකි බවට ලැබුණු ශක්තිමත්ම සාක්ෂිය මෙය බව පර්යේෂකයෝ පවසති.
මෙය LHS 1140 b නමින් හඳුන්වනු ලබයි.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 48ක් ඈතින් මෙය පිහිටා ඇත.
අපගේ සූර්යයාට වඩා බෙහෙවින් කුඩා සහ සිසිල් 'රතු වාමන' (Red dwarf) තරුවක් වටා මෙය ගමන් කරන බව සඳහන් වෙයි.
යම් ග්‍රහලෝකයක ජීවය පැවතීමට නම් එහි ජලය ද්‍රව තත්ත්වයෙන් පැවතිය යුතුය.
ඒ සඳහා එම ලෝකය තමන්ගේ සූර්යයාට ඕනෑවට වඩා කිට්ටු (වැඩිපුර රස්නෙ) හෝ ඕනෑවට වඩා ඈත (වැඩිපුර සීතල) නොවිය යුතුයි.
මෙලෙස ජීවයට "නියමිත උෂ්ණත්වය" ඇති මැද කලාපය විද්‍යාඥයන් හඳුන්වන්නේ 'ගෝල්ඩිලොක්ස් කලාපය' ලෙසයි.
මෙවැනි කලාපවල ඇති ග්‍රහලෝක සිය ගණනක් සොයාගෙන තිබුණත්, ඒ කිසිවක වායුගෝලයක් තිබී මෙයට පෙර හමු වී නැත.
දැනට මෙම වායුගෝලයේ ඉහළ ස්ථරවලින් සොයාගෙන ඇත්තේ හීලියම් (Helium) වායුව පමණි.
හීලියම් වායුවට පමණක් ජීවයක් පවත්වාගෙන යාමට නොහැකි වුවත්, මෙහි පහළ ස්ථරවල ජීවයට හිතකර වෙනත් වායූන් වර්ග තිබීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
