ජෝර්දානයේ වෙසෙන අමෙරිකානුවන්ට ආරක්ෂක දැනුම්දීමක්
July 19, 2026 05:19 pm
ජෝර්දානයේ වෙසෙන අමෙරිකානු පුරවැසියන්ට එරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ආරක්ෂක දැනුම්දීමක් නිකුත් කර තිබේ.
නිශ්චිත සහ විශ්වාසදායක තර්ජනයක් හේතුවෙන් ජෝර්දානයේ අකාබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ වරාය වෙත ජනතාවට ඇතුළුවීම සීමා කර ඇති බැවින්, එම ස්ථාන වෙත නොයන ලෙස අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.
අදාළ ආරක්ෂක දැනුම්දීම අද (19) නිකුත් කර ඇති අතර, ජෝර්දාන බලධාරීන් නිකුත් කරන ආරක්ෂක උපදෙස් අඛණ්ඩව අනුගමනය කරන ලෙසද දැනුම් දී තිබේ.
එමෙන්ම, ජෝර්දානයේ හමුදා කඳවුරු වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසද අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් ලබාදී ඇත.
ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 2 වැනිදා ජෝර්දානයේ සේවය කරන අත්‍යවශ්‍ය නොවන අමෙරිකානු රජයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ජෝර්දානයෙන් පිටව යන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබුණි.
ඒ අනුව, විරෝධතා සහ විශාල ජන රැස්වීම්වලින් වළකින ලෙසත්, විශාල පොලිස් බලකායක් රඳවා ඇති ප්‍රදේශවලට නොයන ලෙසත්, ප්‍රාදේශීය මාධ්‍ය ඔස්සේ තොරතුරු නිරීක්ෂණය කරන ලෙසත් අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම, ප්‍රාදේශීය බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කරන ලෙසත්, ගුවන් ගමනකට බලපෑමක් එල්ල වී ඇත්නම් අදාළ ගුවන් සමාගම සමඟ සෘජුව සම්බන්ධ වී ගුවන් ගමන් වෙනස්කම් පිළිබඳ තොරතුරු ලබාගන්නා ලෙසත් දැනුම් දී ඇත.
අමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රසිද්ධියේ සම්බන්ධ ස්ථානවලදී විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙසත්, අඩු ප්‍රසිද්ධියකින් කටයුතු කරන ලෙසත් අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
