අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට අවුරුදු 12යි

අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට අවුරුදු 12යි

July 20, 2026   08:30 am

ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය වූ අද දෙරණ මෙරට ප්‍රවෘත්ති කලාව නව මානයකට යොමුකරමින් ආරම්භ කළ අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට වසර 12ක් සපිරේ.

විශ්වසනීය මෙන්ම තුලනාත්මක පුවත් ඉදිරිපත් කරමින් කෙටි කලක් තුළ වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිකරගැනීමට මේ දොලොස් වසර තුළ අපට හැකිවුණි.

මෙරට ප්‍රවෘත්තිකරණ ඉතිහාසයේත්, රූපවාහිනී ඉතිහාසයෙත් කඩඉමක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ප්‍රවෘත්ති නාලිකාව ලෙස අද දෙරණ 24 නාලිකාව විකාශන කටයුතු ඇරඹුණේ 2014 ජූලි මස 20 වැනිදාය.

ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් , දේශපාලනික තොරතුරු , ක්‍රීඩා , අධ්‍යාපනික , කලා , සෞඛ්‍ය , ආගමික ආදි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ප්‍රවෘත්ති ඇතුළු කාලීන සිදුවීම් සියල්ලන්ට පෙර ජනතාව වෙත සමීප කෙරුණි.

ඒ , දිනක් තුළ පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශ 7 ක් මෙන්ම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ 4 ක් ඔස්සේයි.

ඊට අමතරව Ada Derana Mornings , Big Focus , Talk with chatura , Global Angle , To The Point , Art Week , Vehicle Hub , වනිතා වරුණ ඇතුළු හරවත් වැඩසටහන් රැසක් මෙන්ම දැයේ දූ දරුවන් වෙනුවෙන් Ada Derana Education ඔස්සේද අප ප්‍රේක්ෂකයා වෙත සමීප වුණි.

එමෙන්ම අද දෙරණ 24 නාලිකාවෙන් මෙවර ඉංග්‍රීසි වැඩසටහන් සඳහා වැඩි ගුවන් අවකාශයක් වෙන් කර තිබෙන අතර ඒ ඔස්සේ Hyde Park , State of the Nation , Showbiz Tonight , Get Real
ඇතුළු වැඩසටහන් රැසක්ම විකාශය කිරීමට සූදානම් කර තිබේ.

එමෙන්ම ඉංග්‍රිසි ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී 9ට ප්‍රවෘත්ති විකාශයක් මෙන්ම ලෝකයේ සිදුවීම් ඔබවෙත ගෙන එන World News ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 9.35ට අද දෙරණ 24 ඔස්සේ විකාශය කෙරේ.

මුල් කාලයේ ඩයලොග් ටීවී සහ පියෝ ටීවී ඔස්සේ පමණක් විකාශය වූ අද දෙරණ 24 නාලිකාව ඉන් පසු සාමාන්‍ය ඇන්ටනාවෙන් පවා නැරඹිය හැකි ලෙස නිදහස් ගුවන් අවකාශයටත් එක් කෙරුණි.

එමෙන්ම අති නවීන තාක්ෂණය මුසු කරගනිමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ අද දෙරණ එතෙක් මෙතෙක් රට තුළ ඇති වූ සියලු ආපදා තත්ත්වයන්වලදී තීරණාත්මක මාධ්‍ය මෙහෙවරක් ඉටු කළේය.

ජංගම දුරකථන මාධ්‍යකරණය හෙවත් MOBILE JOURNALISM මෙරටට හදුන්වා දීමේ ප්‍රමුඛයා වන්නේද අද දෙරණයි.

මෙලෙස ඉටු කළ පුළුල් මාධ්‍ය මෙහෙවර නිසාම අද දෙරණ මෙරට වැඩිම පිරිසක් ප්‍රවෘත්ති නරඹන නාලිකාව බවටද පත්වුණි.

අද දෙරණ ප්‍රවෘත්ති වසර ගණනක් පුරා දිනූ මේ සම්මාන එහි විශිෂ්ටත්වය කියාපාන කදිම නිදසුනකි.

ඒ අනුව මෙම පුළුල් මාධ්‍ය මෙහෙවර ගෙවුණු වසරවල ඉටු කළ පරිද්දෙන්ම පෙර සේම ඉදිරියටත් ඉටුකරමින්  ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ප්‍රවෘත්තිකරණයේ නියැලීමට අද දෙරණ සූදානම්.