ඩෙංගු රෝගීන් 76,000 පනී
July 20, 2026 10:08 am
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව ඊයේ (19) දිනයේදී රෝගීන් 2,652 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්ය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
පසුගිය මාස කිහිපය තුළ රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද, ජූනි මාසයේදී රෝගීන් 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් රෝගීන් 20,666 ක් වාර්තා වී තිබේ.
මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 53 ක් සිදුවී ඇති අතර, රෝගීන් මියයෑමේ අනුපාතිකය 0.07% ක් ලෙස සටහන් වේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය මුළු රෝගීන්ගෙන් 52.61%ක් එනම් රෝගීන් 40,009ක් වේ.
දකුණු පළාතෙන් රෝගීන් 11,707 ක් (15.40%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,431ක් (8.46%) වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ඉන් රෝගීන් 15,910ක් වාර්තා වී තිබේ.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක් වාර්තා වන අතර, ඉන් රෝගීන් 3,073ක්ම වාර්තා වන්නේ කොළඹ මහා නගර සභා බලප්රදේශයෙනි.
මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,330ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,111ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,010ක් ද වාර්තා වී ඇත.
තමන් අවට පරිශ්‍රයන් පිරිසිදුව තබා ගන්නා ලෙසත් උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
