මියගිය සෙබළුන්ගේ ජීවිත වෙනුවෙන් පළිගන්න ට්‍රම්ප් සැරසෙයි
July 21, 2026 06:08 am
හොර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට පහරදීම සඳහා ඉරානය සතු හැකියාවන් "තවදුරටත් දුර්වල කිරීම" අරමුණු කරගනිමින්, ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බව අමෙරිකාව පවසයි.
අමෙරිකාව මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇත්තේ, අඛණ්ඩව 10 වන දිනයේ දීය.
මෑතකදී ජෝර්දානයේදී සහ ඉරාකයේදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියයාමට ප්‍රතිචාර ලෙස ඉරානයට "දැඩි ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි" ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම ප්‍රහාර තීව්‍ර වී ඇත.
මීට පෙර ඉරානයේ හමුදා සහ සන්නිවේදන මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවද අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඉරානය පවසන්නේ බහරේන්, ජෝර්දානය සහ සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවය.
ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ, තම රට අමෙරිකාව සමඟ "මහා පරිමාණ යුද්ධයක" සිටින බවය.
කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ නංවමින් ජෝර්දානය ඉරාන මිසයිල තුනක් බිම හෙළූ බවත්, කුවේට් හමුදාව ඉරාන ඩ්‍රෝන යානා අවහිර කළ බවත් වාර්තා වේ.
මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තෙල් නැව් දෙකක් පුපුරා ගොස් ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කළද, අමෙරිකානු මධ්‍යම හමුදා විධානය විසින් එම ප්‍රහාරය ප්‍රතික්ෂේප කර තිබේ.
