දිට්වාවෙන් හානිවූ කිරි ගොවීන් නඟා සිටුවීමට ලෝක බැංකු ආධාර මත කඩිනම් වැඩපිළිවෙලක්

දිට්වාවෙන් හානිවූ කිරි ගොවීන් නඟා සිටුවීමට ලෝක බැංකු ආධාර මත කඩිනම් වැඩපිළිවෙලක්

July 21, 2026   10:07 pm

දිට්වා ආපදාව හේතුවෙන් බලපෑමට ලක්වූ මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය යළි නඟා සිටුවීම සහ කිරි ගොවීන්ගේ ජීවනෝපාය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් විශේෂ කඩිනම් ප්‍රතිසාධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරනුයේ ආපදාවන්ට ලක්වූ සතුන් වෙනුවෙන් දැනටමත් රජය විසින් ලබා දෙන වන්දි මුදලට අමතරව මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවය.

මෙම කඩිනම් ප්‍රතිසාධන වැඩසටහන ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන බවත් මේ වන විට ව්‍යාපෘතියට අදාල මූලික කටයුතු සියල්ල සාර්ථකව අවසන් කර ඇති බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය එය කඩිනමින් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සියලු පියර ගෙන ඇතැයිද සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ සත්ත්ව ආහාර සැපයීම, වසංගත රෝග පාලනය, සත්ත්ව සුබසාධනය හා සෞඛ්‍ය, යටිතල පහසුකම් යළි සංවර්ධනය, ආහාර පද්ධති ශක්තිමත් කිරීම සහ ජානමය දියුණුව යටතේ උසස් තත්ත්වයෙන් යුත් කිරි ගව පරපුරක් බිහිකිරීම වේ.

මෙම වැඩසටහන හරහා ආපදාවට ලක් වූ පශු සම්පත් ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග යළි ස්ථාවර කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාව තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ මූලික අපේක්ෂාව වී තිබේ.