AI නිසා ඔබේ රැකියාව අනතුරේ ද?

AI නිසා ඔබේ රැකියාව අනතුරේ ද?

July 22, 2026   05:29 pm

කෘතිම බුද්ධි (AI) තාක්ෂණය මගින් මානව ශ්‍රමය ආදේශ කිරීමේ හැකියාව පිළිබඳව ලොව පුරා දැවැන්ත තාක්ෂණික සමාගම් මගින් ප්‍රචාරය කරමින් සිටින අතර, ඉදිරියේදී රැකියා රැසක් ස්වයංක්‍රීයකරණයට (Automated) හෝ AI තාක්ෂණය මගින් වැඩිදියුණු කිරීමට (Augmented) ලක්වනු ඇතැයි වාර්තා වේ.

සේවක සංඛ්‍යාව මත යන පිරිවැය අවම කරගැනීමේ අරමුණින් ලොව විශාලතම සමාගම්වල ප්‍රධානීන් මේ වන විටත් මෙවැනි AI මෙවලම් සඳහා අතිවිශාල මුදලක් ආයෝජනය කරමින් සිටියි.

නව සේවකයින් බඳවා ගන්නවා වෙනුවට, යම් නිශ්චිත හා නිපුණතා සහිත කාර්යයන් ඉටුකිරීම සඳහා "AI නියෝජිතයන්" (AI Agents) හෙවත් අතථ්‍ය (Virtual) සේවකයන් යොදවා ගැනීම කෙරෙහි ආයෝජකයන්ගේ අවධානය යොමු වී තිබේ.

නොබෙල් තෑගි දිනූ ආර්ථික විද්‍යාඥයින් මෑතකදී පෙන්වා දුන්නේ, AI තාක්ෂණය මගින් විශාල ලෙස රැකියා අහිමි වීම වෙනුවට ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ලෝකය "දැන්ම ක්‍රියාත්මක විය යුතු" බවයි.

එසේම, AI භාවිතය හේතුවෙන් රැකියා වෙ‍ෙළඳපොළට එල්ල වී ඇති බලපෑම හමුවේ තමන්ට අවශ්‍ය නිපුණතා සහිත ශ්‍රමිකයන් සොයා ගැනීමට අපහසු වී ඇති බව ලන්ඩනයේ ව්‍යාපාරිකයන්ද අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනය

මීට වසර තුනකට පෙර, විශාල භාෂා ආකෘති (Large Language Models - LLMs) වලට සාර්ථකව කළ හැකි වූයේ මිනිසෙකුට තත්පර හෝ මිනිත්තු කිහිපයකින් කළ හැකි සරල කාර්යයන් පමණි.

නමුත් වර්තමානය වන විට, මිනිසෙකුට පැය කිහිපයක් ගතවන සංකීර්ණ ක්‍රමලේඛන (Software Coding) ගැටලු විසඳීමට මෙන්ම පද්ධති සංවර්ධනය කිරීමට පවා AI සමත්ව සිටියි.

මෘදුකාංග ක්ෂේත්‍රයට අමතරව මූල්‍ය විශ්ලේෂණ, මූලික නීතිමය කටයුතු සහ නිර්මාණාත්මක ක්ෂේත්‍රවල (Creative industries) ආරම්භක මට්ටමේ රැකියා සඳහා ද මෙම රටාව පැතිරෙමින් පවතියි.

රැකියා වෙ‍ෙළඳපොළට සිදුව ඇති බලපෑම

අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද විශ්ලේෂණයකට අනුව, ChatGPT වැනි අතිනවීන AI මෙවලම් ජනප්‍රිය වීමත් සමග වයස අවුරුදු 22ත් 25ත් අතර යෞවනයන්ගේ රැකියා නියුක්තිය 2.7%කින් පහත වැටී ඇත. විශේෂයෙන්ම මූල්‍ය, මෘදුකාංග සහ නිර්මාණාත්මක ක්ෂේත්‍ර වැනි AI තාක්ෂණයට වැඩිපුරම නිරාවරණය වූ ක්ෂේත්‍රවල එම අගය 12.8% තරම් ඉහළ අගයක් ගනී.

කෙසේ වෙතත්, සෞඛ්‍ය, ළමාරක්ෂණ සහ කොණ්ඩා සැකසුම් වැනි සේවාවන් AI බලපෑමෙන් අවම තර්ජනයක් සහිත ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන තිබේ.

එක්සත් රාජධානිය වැනි සේවා ක්ෂේත්‍රය මත පදනම් වූ ආර්ථිකයක් සහිත රටවලටද මෙමගින් රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බව සමීක්ෂන වාර්තා පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අනාගතය සහ පවතින ගැටලු

කෙසේ වෙතත්, මෙලෙස AI භාවිතය ඉහළ යාමත් සමග අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවීම නිසා බොහෝ සමාගම් මේ වන විට මෙම ආකෘති භාවිතය සීමා කිරීමට  පටන් ගෙන තිබේ. මෙය අතථ්‍ය සේවකයන් භාවිත කිරීමේ සීමාවන් පෙන්නුම් කරන අතර, ඇතැම් අවස්ථාවලදී මානව ශ්‍රමයට වඩා AI සේවකයන් මිල අධික විය හැකි බවද පැහැදිලි වේ.

මේ හේතුවෙන් බටහිර සමාගම් ඇතුළු බොහොමයක් ආයතන, නොමිලේ ලබාදෙන චීන AI ආකෘති වැනි පිරිවැය අඩු විකල්ප වෙත යොමු වෙමින් පවතින අතර, AI මගින් රැකියා අහෝසි වන ප්‍රමාණය සහ අනාගත රැකියා වෙළෙඳපොළේ වෙනස්කම් පිළිබඳව තවදුරටත් අවිනිශ්චිතතාවයක් පවතියි.