මීගමුව බන්ධනාගාරය තුළ අපරාධයක් සිදුවෙලා - මීගමුව මහේස්ත්‍රාත් කියයි
July 23, 2026 07:24 pm
මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය තුළ අපරාධයක් සිදුවී ඇති බැවින් විමර්ශන සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (23) නියෝග කළාය.
එමෙන්ම සිද්ධියේදි මිය ගිය , මරණයට හේතු ප්‍රකාශ වූ 28 දෙො අතුරින් 17 දෙනෙකු ගිනිඅවියකින් සිදුකළ වෙඩිතැබීමකින් වූ තුවාල නිසාද, 11 දෙනෙකු මොට ආයුධවලින් සිදුකළ බහුවිධ තුවාල නිසාද මියගොස් ඇතැයි මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි මස 05 සහ 06 යන දෙදින තුළ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ නීති කෘත්‍යය මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ අද යළි කැඳවුණි.
එහිදී සිදුවීම සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළේය.
"ස්වාමිනි, විමර්ශනයට අදාළව මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 200ක්, රැඳවියන් 563ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 130ක්, පොලිස් නිලධාරීන් 11ක් සහ සිවිල් පුද්ගලයන් 65 දෙනෙකුගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ විමර්ශනය අපි සිදුකරන්නේ ජුලි 05 පළමු දිනයේ පහරදීම, ජුලි 06 දෙවැනි දිනයේ පහරදීම, පුද්ගලයන් මියයාම හා බන්ධනාගාර දේපළවලට හානිකිරීම කියන කොටස් 03කට අදාළවයි. "
මෙහිදී මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාවයට අදාළව සැකකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය.
"ස්වාමිනි, මේ සිදුවීමේදී තත්ත්වය පාලනය කරන්න වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ සිට හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන් 89 දෙනෙකු මීගමුව බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. ඔවුන් ගිනිඅවි 10ක් සහ උණ්ඩ 300ක් රැගෙනවිත් තිබෙනවා. ඉන් වැයකරලා තියෙන්නේ පතොරම් 12ක් පමණයි. ඒ අනුව ගිනිඅවි 10 සහ ඉතිරි පතොරම් මේ වෙද්දි විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. විමර්ශනයේදී දැනට අනාවරණය වී ඇති අන්දමට මේ සිදුවීමේ ගැටුමට මුල්වී ඇත්තේ බන්ධනාගාර අභ්‍යන්තරයට මත්ද්‍රව්‍ය රැගෙනඒම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදුන් රැඳවියන් පිරිසක් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයක්. පසුව එම ප්‍රහාරය නිලධාරීන් දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. මේ සියල්ල සිදුකර තිබෙන්නේ ඉතා සූක්ෂම විදිහට සංවිධානාත්මකව සැලසුම් කළ සුළු පිරිසක් විසින්. ඒ අනුව සැකකරුවන් 40 දෙනෙකුගේ අන්වර්ථ නාමයන් මේ වෙද්දි අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන්ගේ නිශ්චිත අනන්‍යතාවයන් හඳුනාගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. "
මෙහිදී මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් වෙනුවෙන් අගතියට පත් පාර්ශවයක් ලෙස නීතිඥ සේනක පෙරේරා මහතා කරුණු දැක්වීමක් සිදුකළේය.
" ස්වාමිනි, මේ සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් යන දෙපාර්ශවයම මියගියා. පළමු දිනයේ ගැටුමට පස්සේ දෙවන දිනයේ හානිය වළක්වාගන්න බන්ධනාගාර නිලධාරීන් මොනවාද කළේ කියන එක බරපතළ ගැටලුවක්. ඇයි පළමු දිනයේ ආරවුලට සම්බන්ධ රැඳවියන් අනිත් රැඳවියන්ගෙන් වෙන් නොකළේ? මේ සිදුවීමේදී බන්ධනාගාර ආයුධ ගබඩාවේ කඳුළු ගෑස් තිබුණාද කියන එකත් ප්‍රශ්නයක්. ඉතිං මෙතනදි නොසැලකිලිමත්කම නිසාත් මරණ සිදුවී ඇති බව පැහැදිලියි. ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය නොසැලකිලිමත්කමින් මරණය සිදුකිරීම කියන වරද මෙතනදි වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා කුඩා කවුළුවකින් බන්ධනාගාරය තුළට නිලධාරියෙක් වෙඩි තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 294 මිනිමැරීමේ වරද යටතේ එන 4 වන කොටස සෑම අතින්ම මරණය සිදුවිය හැකි බව දැන දැන සිදුකරන ක්‍රියාවක් තමයි ඒක. මේ විමර්ශනය සමබරව කරගෙන යාමට සුදුසු නියෝග නිකුත් කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."
අනතුරුව සිදුවීමෙන් මියගිය පුද්ගලයින් 28 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණවලට අනුව එක් එක් මරණවලට හේතුව වෙන්වෙන්ව මහෙස්ත්‍රාත්වරිය විසින් විවෘත අධිකරණයේ නිවේදනය කළාය.
ඒ අනුව මරණයට හේතුව ප්‍රකාශ කළ 28 දෙනා අතරින් 17 දෙනෙකු ගිනිඅවියකින් සිදුකළ වෙඩිතැබීමකින් වූ තුවාල නිසාද, 11 දෙනෙකු මොට ආයුධවලින් සිදුකළ බහුවිධ තුවාල හේතුවෙන්ද මියගොස් ඇති බව මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.
