සියවසක් පැරණි ගණිත ගැටලුවලට විසදුම් ලැබුණු හැටි

සියවසක් පැරණි ගණිත ගැටලුවලට විසදුම් ලැබුණු හැටි

July 24, 2026   08:37 am

ගණිත ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගයට සමාන ලෙස සැලකෙන කීර්තිමත් 'ෆීල්ඩ්ස් පදක්කම' (Fields Medal) ප්‍රථම වතාවට දිනා ගැනීමට චීන ජාතික ගණිතඥයන් දෙදෙනෙකු සමත්ව ඇත.

අමෙරිකාවේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ සහ ප්‍රංශයේ IHES ආයතනයේ මහාචාර්යවරියක වන 35 හැවිරිදි හොං වැං (Hong Wang) සහ චිකාගෝ විශ්වවිද්‍යාලයේ 37 හැවිරිදි මහාචාර්ය යු ඩෙං (Yu Deng) මෙලෙස සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

මෙහිදී හොං වැං මහත්මිය මෙම සම්මානය දිනාගත් ඉතිහාසයේ තෙවැනි කාන්තාව බවට පත්වෙමිනි.

අමෙරිකාවේ පැවැති උත්සවයකදී මොවුන්ට අමතරව අමෙරිකාවේ ජෝන් පාඩන් (John Pardon) සහ කැනඩාවේ ජේකබ් ට්සිමර්මන් (Jacon Tsimerman) යන අයද මෙම පදක්කමෙන් පිදුම් ලැබූ අතර, එක් අයෙකුට කැනේඩියානු ඩොලර් 15,000ක ත්‍යාග මුදලක් හිමි විය.

වයස අවුරුදු 40ට අඩු විශිෂ්ට ගණිතඥයන් සඳහා වසර හතරකට වරක් පිරිනමන මෙම සම්මානය, මොවුන් දෙදෙනාට හිමිවූයේ වසර සියයකට අධික කාලයක් තිස්සේ විසඳීමට නොහැකිව තිබූ සංකීර්ණ ගණිත ගැටලු දෙකක් විසඳීම හේතුවෙනි.

කැකේයා අනුමානය (Kakeya Conjecture)-  1917දී ජපාන ගණිතඥ සොයිචි කැකේයා ඉදිරිපත් කළ ගැටලුවක් පදනම් කරගනිමින්, ත්‍රිමාණ අවකාශයක් තුළ පැන්සලක් කැරකැවීමේදී එය අයත් කරගන්නා කුඩාම වර්ගඵලය පිළිබඳ සංකල්පය හොං වැං සහ ඇගේ සගයා වන ජෝෂ් සාල් (Josh Zahl) විසින් විසඳා ඇත.

හිල්බට්ගේ 6 වැනි ගැටලුව (Hilbert's Sixth Problem): 1900 වසරේදී ජර්මන් ගණිතඥ ඩේවිඩ් හිල්බට් විසින් අංශුවල චලනය පදනම් කරගනිමින් සමස්ත පද්ධතියක හැසිරීම ගණනය කරන්නේ කෙසේදැයි විමසා තිබූ අතර, වායු වර්ගවල හැසිරීම ඇසුරෙන් යු ඩෙං මහතා මෙම ගැටලුව විසඳීමට සමත් විය.

මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ Weibo සහ Rednote වැනි චීන සමාජ මාධ්‍ය ජාල තුළ 'Fields Medal' පිළිබඳ පුවත මිලියන ගණනින් නරඹා ඇති අතර, මෙය චීන ගණිත ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ දුටු සිහිනයක් සැබෑ වීමක් බව ප්‍රථම චීන ජාතික ෆීල්ඩ්ස් පදක්කම් ලාභියා වන ෂිං-තුං යාඕ (Shing-Tung Yau) ප්‍රකාශ කර තිබේ.

දෙදෙනාම 2007 වසරේදී චීනයේ ප්‍රමුඛතම පීකිං විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා අමෙරිකාව සහ ප්‍රංශය වෙත ගොස් ඇත.

ජයග්‍රහණයෙන් පසු හොං වැං මහත්මිය වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇයට සුභ පැතුම් එක්කර ඇති අතර, "ඇය අපගේ පර්යේෂණ සහ පුහුණුවේ විශිෂ්ටත්වය පෙන්නුම් කරනවා" යැයි පවසමින් විද්‍යාත්මක අධ්‍යාපනය සඳහා ප්‍රංශය තෝරාගන්නා ලෙස ලොවට ඇරයුම් කර තිබේ.