වැරදුන වෙඩිල්ල - කුඩු රොෂාන්ට තැබූ වෙඩිල්ල සුමේධට පත්තු වෙයි

වැරදුන වෙඩිල්ල - කුඩු රොෂාන්ට තැබූ වෙඩිල්ල සුමේධට පත්තු වෙයි

July 24, 2026   01:03 pm

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී සිදු වූ වෙඩි තැබීමේ සම්බන්ධයෙන් කරුණූ රැසක් මේ වන විට අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්වය තිබේ.

ඊයේ රාත්‍රි 9.30ට පමණ සිදු වූ මෙම වෙඩිතැබීම මට්ටක්කුලියේ මනෝජ් නැමැත්තා මෙහෙයවා ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පැවසෙන කුඩු රොෂාන් නැමැත්තා ඉලක්ක කර වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

කුඩු රොෂාන්ගේ සහෝදරයාගේ තුන් හැවිරිදි දියණියගේ උපන්දින සාදය ඊයේ පස්වරුවේ පවත්වා ඇති අතර ඝාතනයට ආ වෙඩික්කරු ද සාදයට පැමිණි අයෙක් යැයි හැඟෙන ලෙස නර්තනයේ යෙදෙමින් පැමිණ, පසුව වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකර ඇත්තේ  "කුඩු රොෂාන්" හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි වෙනත් පුද්ගලයෙකුටය.

"කුඩු රොෂාන්" එම අවස්ථාවේ දුම්වැටියක් පානය කිරීමට ගොස් සිට ඇති අතර ඔහු එලෙස ගමන් කරන ආකාර උත්සව ශාලාවේ තිබූ CCTV කැමරාවල පටිගත වී ඇත.

පොලීසිය සැක පළකරන්නේ වෙඩික්කරුට ඔවුන් දෙදෙනා හඳුනාගැනීමට නොහැකිව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටය.

මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා, කුඩු රොෂාන් සමග උත්සවයට පැමිණ සිටි පුද්ගලයෙකු බව වාර්තා වේ.

වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ, වනාතේ සුමේධ නම් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර  ප්‍රහාරයෙන් පසු වෙඩික්කරු පලායන CCTV දර්ශන පෙළක් ද වාර්තා වී ඇත.

පොලීසිය විසින් සිදුකළ සෝදිසි කිරීම් හමුවේ ඊයේ රාත්‍රියේදීම වෙඩික්කරු පැමිණි මෝටර් රථය ජා ඇල ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් 5ක් විසින් සිදුකෙරේ.