අසිත නිරෝෂණට දිනන දකුණ සාමූහිකයෙනුත් අභියෝගයක් 

අසිත නිරෝෂණට දිනන දකුණ සාමූහිකයෙනුත් අභියෝගයක් 

July 25, 2026   02:08 pm

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පාර්ලිමේන්තුවේදී නීතිඥ සංගමය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ පදනම් විරහිත සහ ද්වේෂ සහගත එකක් බවට තමන් විශ්වාස කරන බව දිනන දකුණ සාමූහිකය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය සඳහන් කරන්නේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බවය.

නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බව ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතාට එරෙහිව පැවැති විශ්වාසභංග විවාදයට එක්වෙමින් අසිත නිරෝෂණ මහතා කියාසිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ නීතිඥ සංගමය අවධාරණය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශ පදනම් විරහිත සහ ජනතාව නොමඟ යවන ලද එකක් බවය. 

වරප්‍රසාදවලට මුවාවී සිදු කරන ලද අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටත සිදු කරන ලෙසට ශ්‍රී ලංකා නීනිඥ සංගමය අභියෝගයක් කළේය. 

ඒ අනුව අදාළ අභියෝගය භාරගෙන සිය දේශපාලන සදාචාරය ප්‍රදර්ශනය කරන ලෙස දිනන දකුණ සාමූහිකය අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි. 

මෙරට නීතිඥ ප්‍රජාවට, නීති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවට ද අදාළ නිවේදනයේ දක්වා තිබේ. 

කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද ප්‍රජාතන්ත්‍රවාදයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ විරෝධතා දැක්වීමේ අයිතිය ඇතුළු ජනතාවගේ මානව හිමිකම්වලට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව නීතිඥ සංගමය බියෙන් හෝ සැකෙන් තොරව පෙනී සිට ඇති බව දිනන දකුණ සාමූහිකයේ මතය බව එහි වැඩිදුරටත් දක්වා ඇත.