කිලිනොච්චි වැටලීමකට ගිය STF නිලධාරීන්ට ගම්මුන්ගෙන් බාධා

කිලිනොච්චි වැටලීමකට ගිය STF නිලධාරීන්ට ගම්මුන්ගෙන් බාධා

July 25, 2026   04:29 pm

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

අක්කරායන්කුලම් මුක්කන්පන් ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරන බවට ලද තොරතුරකට අනුව වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී ඔවුන්ගේ  රාජකාරියට බාධා කරමින් එහි සිටි පිරිසක් ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අහසට වෙඩි තැබීමට පවා සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිව්දෙනකු ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් නවදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් එක් අයෙකුට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයාව ද රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් රක්ෂිතය එළිපෙහෙළි කිරීමට යොදාගත් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අක්කරායන්කුලම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.