දින 36ක පුරා මුහුදත් සමග පොරබදිමින් සිට දිවි බේරාගත් පියපුතු ධීවරයින් දෙදෙනා

දින 36ක පුරා මුහුදත් සමග පොරබදිමින් සිට දිවි බේරාගත් පියපුතු ධීවරයින් දෙදෙනා

July 25, 2026   06:00 pm

දින 36 කට අධික කාලයක් මුහුදේ අතරමංව පාවෙමින් සිටි ශ්‍රී ලංකීය ධීවරයින් දෙදෙනෙකු බංග්ලාදේශයේ කොක්ස් බාසාර් හි මහේෂ්කාලි ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් මුදාගෙන තිබේ.

බංග්ලාදේශ ධීවරයින් විසින් මොවුන් දෙදෙනා සොයාගෙන ඇත්තේ පසුගිය 23 වනදා රාත්‍රී 10:00 ට පමණ බෙංගාල බොක්කේ සෝනාචාර් ප්‍රදේශය ආසන්නයේ පාවෙමින් සිටියදීය.

අනතුරුව ඔවුන්ව බංග්ලාදේශ ධීවරයින්ගේ යාත්‍රාවට නංවාගෙන මහේෂ්කාලි වෙරළ වෙත රැගෙන ගොස් ඇත.

මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා පිය පුතු දෙපළක් වන බව වාර්තා වේ.

ආහාර සහ පානීය ජලය නොමැතිවීමෙන්, මුහුදේ ගත කළ දින 36 පුරාම අමු මාළු අනුභව කරමින් මොවුන් දෙදෙනා ජීවිතය බේරාගෙන ඇති බව සඳහන් වේ.

ඔවුන් ශ්‍රී ලංකාවේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි එස්.එච්. චමින්ද සහ 30 හැවිරිදි ඔහුගේ පුත්‍රයා බව හඳුනාගෙන ඇති බව වාර්තා විය.

මෙම ධීවරයින් මුහුදේ අතරමං වූයේ කෙසේද යන්න සහ ඔවුන් සැබවින්ම දින 36 ක් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගත කළේද යන්න පිළිබඳව බංග්ලාදේශ බලධාරීන් විසින් මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කිරීමට සහ ඔවුන් සමඟ සම්බන්ධ වීමට අදාළ අංශ සූදානම් වෙමින් පවතින බව බංග්ලාදේශ පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.