හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයින් අතරට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක්
July 26, 2026 12:56 pm
ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානයක් වන Coalition for Global Hepatitis Elimination - CGHE විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්ව තිබේ.
ජූලි 28 වන දිනට යෙදෙන ලෝක හෙපටයිටිස් දිනයට සමගාමීව මෙම තේරී පත්වීම ප්‍රකාශයට පත් කර ඇති අතර, හෙපටයිටිස් තුරන් කිරීම සඳහා කැපවීම, මහජන දැනුවත්භාවය, ප්‍රතිපත්ති සංවර්ධනය, සේවා සැපයීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් ඔස්සේ සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ලොව පුරා සිටින පුද්ගලයන් සිව්දෙනෙකු මෙම වසරේ ශූරයන් ලෙස නම් කර ඇත.
CGHE සංවිධානය සඳහන් කර ඇත්තේ ප්‍රජා මූලික සහ නව්‍ය සේවා ආකෘති හරහා අවදානම් ජනකොටස් වෙත සෞඛ්‍ය සේවා ළඟා කරවීම, හෙපටයිටිස් C රෝගීන් කල්තියා හඳුනා ගැනීම, ප්‍රතිකාර ආරම්භ කිරීම සහ සුවපත් වීමේ අනුපාතය ඉහළ නැංවීම සඳහා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය ලබාදුන් දායකත්වය මෙම ඇගයීමට හේතු වූ බවය.
මෙම සම්මානය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්රයට හිමි වූ වැදගත් ජාත්‍යන්තර පිළිගැනීමක් වන අතර, 2030 වන විට වෛරස් හෙපටයිටිස් තුරන් කිරීමේ ගෝලීය ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයන්ට ද ශක්තියක් වනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය මෙරට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ප්‍රධාන අවදානම් ජනගහන වැඩසටහන සඳහා ජාතික වැඩසටහන් විශේෂඥ, වෛද්‍ය ලෙස කටයුතු කරයි.
මෙරට HIV, හෙපටයිටිස් B සහ C මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැළැක්වීම හා ප්‍රතිකාර සඳහා නව්‍ය, ප්‍රජා මූලික ප්රවේශයන් හඳුන්වාදීමට ඇය පුරෝගාමී වී ඇත.
2018 වසරේ සිට වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය ශ්‍රී ලංකාවේ එක් ස්ථානයකින් සියලු සේවා ආකෘතිය සංවර්ධනය කිරීමට නායකත්වය ගෙන තිබේ.
එමඟින් සෞඛ්‍ය අධ්‍යාපනය, හානි අවම කිරීමේ සේවා, ස්ථානීය ඉක්මන් පරීක්ෂණ, හෙපටයිටිස් ප්‍රතිකාර සහ මනෝසමාජීය සහාය යන සේවාවන් එකම ස්ථානයකින් ලබාදීමට හැකි වී ඇත.
මෙම වැඩසටහන හරහා 2021දී ශ්‍රී ලංකාවේ ප්‍රථම කටු හා සිරින්ජ හුවමාරු වැඩසටහන සහ 2022දී ප්‍රජා මූලික හෙපටයිටිස් C ප්‍රතිකාර සේවාව හඳුන්වාදීමට ද ඇය දායක වී ඇත.
මෙම වැඩසටහන් මඟින් ජීවිතාරක්ෂක සේවාවන් වෙත ප්‍රවේශය පුළුල් ව ඇති අතර, අවදානම් සහිත ජනගහනය අතර හෙපටයිටිස් C රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර ආරම්භ කිරීම සහ සම්පූර්ණ සුවය ලබාගැනීමේ ප්‍රතිශත ඉහළ නැංවීමටද වැදගත් දායකත්වයක් ලබා දී ඇත.
වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය ප්‍රජා සම්බන්ධීකරණ සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පාඨමාලා පිහිටුවීම සඳහා ද ප්‍රධාන විශේෂඥ දායකත්වයක් ලබා දී ඇති අතර "මා පිය සුමිතුරෝ" සංවිධානයේ Parentcraft වැඩසටහන හරහා ගර්භණී මව්වරුන් සහ ඔවුන්ගේ සහකරුවන් අතර HIV, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සහ වෛරස් හෙපටයිටිස් පිළිබඳ දැනුවත් කිරීමද ඇය විසින් සිදු කරයි.
අධ්‍යාපනය හා දැනුවත්භාවය ලබාදීම, රෝග වළක්වා ගැනීම, පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවාවන් බොහෝවිට නොසලකා හැරෙන ජනකොටස් වෙතද සේවා ළඟා කරමින්, වෛද්‍ය සත්‍යා හේරත් මහත්මියගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව වෛරස් හෙපටයිටිස් තුරන් කිරීමේ අරමුණ කරා ගෙන යාමට අඛණ්ඩව දායක වෙමින් පවතින බව ද Coalition for Global Hepatitis Elimination - CGHE සංවිධානය පෙන්වා දී ඇත.
Coalition for Global Hepatitis Elimination (CGHE) යනු ලොව පුරා වෛරස් හෙපටයිටිස් (විශේෂයෙන් හෙපටයිටිස් B සහ C) සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙළේ සංවිධානයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නිල සබඳතා පවත්වන The Task Force ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් ජාලය හරහා CGHE සංවිධානය ප්‍රධාන කාර්යභාරයන් රැසක් ඉටු කරයි.
හෙපටයිටිස් බහුලව ව්‍යාප්ත වී ඇති අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, එම රටවල බිම් මට්ටමේ සෞඛ්‍ය පද්ධති සහ තාක්ෂණික මෙවලම් සංවර්ධනය සැපයීම, හෙපටයිටිස් වළක්වා ගැනීම, රෝග විනිශ්චය, එන්නත්කරණය සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ලොව පුරා පවතින සාර්ථක අත්දැකීම් සහ පර්යේෂණ දත්ත ජාත්‍යන්තර හවුල්කරුවන් අතර බෙදාහැරීම සඳහා පොදු වේදිකාවක් සකස් කිරීම, රෝගය තුරන් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා නව විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයවීම සහ රටවල් සඳහා අවශ්‍ය නව තාක්ෂණික උපදේශන සම්පත් නිර්මාණය කිරීම ඒ අතර වේ.
