පුත්තලම - කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්
July 27, 2026 10:42 am
පුත්තලමේ සිට කොළඹ දක්වා ධාවනය වන සාමාන්‍ය සහ සුඛෝපභෝගී පුද්ගලික බස් රථ අද (27) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
කොළඹ සිට පුත්තලම හරහා ධාවනය වන දුර ගමන් සේවා බස් රථ සේවකයින් පසුගිය දින කිහිපය තුළ තමන්ට පහර දුන් බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය හෝ ගමනා ගමන කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගන්නා බවත් පවසමින් ඔවුන් මෙසේ වර්ජනයේ යෙදී සිටී.
වර්ජනයට එක්ව සිටින පිරිස වැඩිදුරටත් කියා සිටියේ පසුගිය 20,24,25 සහ 26 වන දිනයන්හි හලාවත සහ මුන්දලම යන ප්‍රදේශවලදී මෙම පහරදීම් සිදු කර ඇති බවත්, පහර කෑමට ලක්වූ ඇතමුන් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් ය.
ඒ හේතුවෙන් තමන්ට සාධාරණයක් ඉටු වන තුරු මෙලෙස වැඩ වර්ජනයේ යෙදෙන බවද ඔවුන් සඳහන් කර සිටී.
