බන්ධනාගාර ගැටුමට 'හීනටියන සුපුන්' ඇතුළු 4ක් සැකකරුවන් ලෙස නම් කෙරේ
July 27, 2026 05:46 pm
මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව සැකකරුවන් සිව්දෙනෙකු නම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (27) දැනුම් දුන්නේය.
මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර, එහිදී ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් සිව් දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
එලෙස නම්කළ රැඳවියන් වන්නේ සුපුන් මධුසංඛ හෙවත් 'හීනටියන සුපුන්', ෂේන් ඩිලාන් සිල්වා, අෂාන් ප්‍රනාන්දු හෙවත් 'කළු මල්ලි' සහ සමීර සම්පත් හෙවත් 'බබා' නමැත්තන්ය.
විමර්ශන නිලධාරින් දැනුම්දී ඇත්තේ, ගැටුම ඇතිවූ දින විශේෂ කාර්ය බළකා නිලධාරින් ගිනිඅවි 301ක් මීගමුව බන්ධනාගාරයට රැගෙනවිත් ඇති බවත්, බන්ධනාගාර නිලධාරින් සතුව ගිනිඅවි 70ක් තිබූ බවත්ය.
ඒවායේ විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා මේ වන විට කැඳවා ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.
එසේම විමර්ශන නිලධාරීන් පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින්, රැඳවියන්, විශේෂ කාර්ය බළකා නිලධාරින්, පොලිස් නිලධාරින් සිවිල් වැසියන් ඇතුළුව පුද්ගලයින් 1395 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.
මේ අතර අද සැකකරුවන් ලෙස නම්කළ රැඳවියන් සිව්දෙනා අධිකරණය හමුවට අදම ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, ඒ අනුව සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව එම සැකකරුවන් ලබන අගෝස්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළ අතර, පසුව ඔවුන් සිව්දෙනා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
