දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර

දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර

July 27, 2026   06:01 pm

update-
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැරේ පසුගිය වසරවල කාවඩි නැටූ සියලු කණ්ඩායම්වලට මේ වසරෙත් කාවඩි නැටීම සඳහා අවසර ලබාදීමට තීරණය කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පතිවරයාගේද සහභාගිත්වයෙන් මාතර දිසාපති කාර්යාලයේ අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි. 

දෙවිනුවර පෙරහරේ කාවඩි නැටීම සම්බන්ධයෙන් පාතාල කල්ලි දෙකක් අතර මතු වූ ගැටුම්කාරී තත්ත්වය මත උද්ගත වූ වාතාවරණය මෙවන් සාකච්ඡාවකට හේතුවුණි.

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැරට, පසුගිය වසරේ ඉන් ඉවත් කෙරුණු කාවඩි කණ්ඩායම් කිහිපයකට අනිවාර්යෙන් අවස්ථාව ලබාදිය යුතු බවට තර්ජනය කරමින් පාතාල සාමාජික කංජිපානි ඉම්රාන් නමින් නිකුත් වූ හඬපටයක් රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළේය.

ඉන් තර්ජනය කර තිබුණේ එම දේවාලයේ බස්නායක නිලමේවරයාටයි.

කෙසේවෙතත් පාතාල සාමාජික දෙහිබාලේ මල්ලි නමැත්තා ඊට එරෙහිව අදහස් දක්වමින් හඬපටයක් නිකුත් කර තිබූ අතර පසුව ජුලි 21 වැනිදා දේවාලය අසල නිවසකට වෙඩි තැබීමක්ද සිදුවුණි.

මෙවන් පසුබිමක දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැරේ කාවඩි නර්තන කණ්ඩායම් ගමන් කිරීම තාවකාලිකව අවලංගු කිරීමට පියවරගන්නා ලෙස දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතාට ලිපියක් යොමුකර තිබුණි.

ලද බුද්ධි තොරතුරු පිළිබඳ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ පෙරහැරේ කාවඩි නර්තන අංගය සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ අනුගාමිකයන්ද නර්තනයේ යෙදීමට ඉඩඇති බැවින්, එම කල්ලි අතර යම් කලහකාරි සිදුවීමක් ඇතිවී ජීවිත හානියක් සිදුවීමට ඉඩ පවතින බවයි.

ඒ අනුව පොලිස්පතිවරයාගෙන් ලද නිර්දේශ මත දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා දේවාලයේ බස්නායක නිලමේවරයාට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතා ඊයේ පස්වරුවේ මීට අදාළව සිය ස්ථාවරය දන්වමින් නිවේදනයක් නිකුත් කළේය.

උපුටා ගැනීම- 

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහර මංගල්‍යයේ 06 වැනි පේළි පෙරහරෙහි කාවඩි නර්තන සම්බන්ධ කිරීම සම්බන්ධව මාගේ කිසිම විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කරමි.

තවද, ලියාපදිංචි කණ්ඩායම් 25 පමණක් නර්තනයේ යෙදීමට අවසර ලබාදෙමි.

- උපුටාගැනීම අවසන් -

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා පොලීසිය අද (27) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ මතුව ඇති තත්ත්වය පිළිබඳ අදහස් පළ ක‍ළේය.

ඒ අනුව මීට අදාළව තිරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් පාර්ශ්ව කිහිපයක සහභාගිත්වයෙන් මාතර දිසාපති කාර්යාලයේදී අද පැවැත්වුණි.

ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් මෙන්ම මාතර දිස්ත්‍රික් ලේකම් ඇතුළු පෙරහැරට සම්බන්ධ පාර්ශ්ව එක්ව සිටියේය.
 

==================

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර තිබේ.

ඒ මාතර දිසාපති කාර්යාලයේ අද (27) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණය මතය. 

මෙම සාකච්ඡාව අද පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව වල සහභාගීත්වයෙනි.

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ හෙට (28) පැවැත්වෙන පෙරහැරට අතිරේක පොලිස් විශේෂ කාර්යය බළකාය සහ පොලීසිය ආරක්ෂාව සඳහා යෙදවීමටය.