අමෙරිකාවේ ලේ සංචිත හිඟයක්
සයුරෙන් එතෙර

අමෙරිකාවේ ලේ සංචිත හිඟයක්

July 30, 2026   06:52 am

අමෙරිකාවේ රුධිර සංචිත දරුණු ලෙස පහත වැටීම හේතුවෙන් එරට රතු කුරුස 'Red Cross' ආයතනය විසින් ජාතික රුධිර හිඟයක් ප්‍රකාශයට පත් කර තිබේ. 

වසර 150 වැනි කාරයක් තුළ මෙවැනි තත්ත්වයක් උද්ගත වූයේ දෙවැනි වතාවට බව සඳහන්වේ.

අමෙරිකානු රතු කුරුස ආයතනයට අනුව, පසුගිය මාසය තුළ පමණක් එරට රුධිර සැපයුම සියයට 25 කින් පහත වැටී ඇත.

අර්බුදයට හේතු මොනවාද?

මෙම ග්‍රීෂ්ම සෘතුවේදී හටගත් ලැව්ගිනි සහ අධික උණුසුම් කාලගුණික තත්ත්වයන් මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව රතු කුරුස ආයතනය පවසයි.

ග්‍රීෂ්ම සෘතුවේදී වැඩි පිරිසක් එළිමහනේ කාලය ගත කිරීම සහ වාහන අනතුරු වැඩි වීම හේතුවෙන් රෝහල්වලට අවශ්‍ය රුධිර ප්‍රමාණය සාමාන්‍යයෙන් ඉහළ යයි.

දැඩි උණුසුම නිසා ජනයා එළිමහට යාම සීමා කර ඇති අතර, ලේ දන් දීමේ කඳවුරු පැවැත්වීමට නියමිතව තිබූ ස්ථාන කිහිපයකටම සුදුසු පරිසරයක් පවත්වාගැනීමට නොහැකි වී තිබේ.

ලැව්ගිනි හේතුවෙන් සම්පත් වෙනත් දිශාවලට යොමු කිරීමට සිදුවීම සහ රට තුළ පැතිර ගිය ආහාර හේතුවෙන් ඇති වන රෝග (Food-borne illnesses) වැනි තත්ත්වයන්ද මෙම අර්බුදය තවත් ඉහළ කර ඇත.

අමෙරිකාවේ සමස්ත රුධිර සැපයුමෙන් 40% ක් පමණ සපයන ලොකුම එකම ආයතනය වන අමෙරිකානු රතු කුරුස ආයතනය, මේ වන විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා රුධිර ඒකක 3,500 කට අධික ප්‍රමාණයක් බෙදාහරිමින් පවතී.

 රුධිර සෛල කාලයත් සමඟ පිරිහෙන බැවින්, පරිත්‍යාග කළ රුධිරය දින 42ක් ඇතුළත භාවිත කළ යුතු අතර, ඒ හේතුවෙන් විශාල වශයෙන් රුධිරය ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට 'O+' (O positive) ඇතුළු සියලුම රුධිර කාණ්ඩවලට දැඩි ඉල්ලුමක් පවතියි.

හදිසි අවස්ථාවකදී රෝගියාගේ රුධිර කාණ්ඩය කුමක්දැයි සොයා ගැනීමට නොහැකි අවස්ථාවලදී බහුලවම භාවිත කරන විශ්වීය රුධිර කාණ්ඩයක් ලෙස 'O' රුධිරය සැලකේ.

මෙම තත්ත්වය හමුවේ රෝහල්වල සාමාන්‍ය  කටයුතුවලට බාධා ඇති විය හැකි බවත්, හදිසි අනතුරු සඳහා අවශ්‍ය තරම් රුධිරය තබා ගැනීමට නොහැකි වුවහොත් රෝගීන් වෙනත් වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යැවීමට සිදුවනේද යන්න පිළිබඳව රෝහල් බලධාරීන් සලකා බලා ඇති බවත් සඳහන් වේ.

අමෙරිකානු රතු කුරුස ආයතනය මීට පෙර මෙවැනි ජාතික රුධිර අර්බුදයක් ප්‍රකාශයට පත් කළේ 2022 ජනවාරි මාසයේදී කොවිඩ් වසංගත සමයේ සහ දැඩි ශීත කාලගුණික සමයකදීය. 

මේ අතර, කැනඩාවේද ජුනි මස මුල සිට රුධිර සැපයුම සියයට 20 කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බව 'කැනේඩියානු රුධිර සේවය' නිවේදනය කර ඇත. 

කෙසේ වෙතත්, එරට තුළ මෙම පරිත්‍යාග අඩුවීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැත.