පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනය ගැන සාකච්ඡාවක්
July 30, 2026 05:03 pm
දිවයින පුරා ක්‍රියාත්මක පුද්ගලික ආරක්ෂක නියෝජිතායතනවල කටයුතු වඩාත් විධිමත් කිරීම, පාලනය කිරීම සහ ඊට අදාළ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
ඒ, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙනි. මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ද සහභාගී විය.
පවතින පනතේ ඇති අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තිමත් කරමින් අදාළ පනත සංශෝධනය කර බලාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙහිදී දිවයින පුරා ක්‍රියාත්මක පුද්ගලික ආරක්ෂක ආයතනවල වත්මන් තත්ත්වය, නීතිමය රාමුව සක්‍රිය කිරීම හා කාලීන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම මෙන්ම, එම ක්ෂේත්රයේ දැනට පවතින ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස අවධානය යොමු කළ බව සඳහන්ය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පුද්ගලික ආරක්ෂක ක්ෂේත්රය යනු රාජ්‍ය හා පෞද්ගලික දේපළ සුරක්ෂිත කිරීමට සෘජුවම දායක වන වැදගත් ක්ෂේත්රයක් බවය.
එම ආයතන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමත්, නීත්‍යනුකූල පටිපාටියකට අනුව පවත්වා ගෙන යාමත් අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
තවද, මෙම නියෝජිතායතන වෙත මනා පුහුණුවක් ලත් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන් සඳහා ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබාගැනීම, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, හිමි විය යුතු නිසි වැටුප් හා පහසුකම්
ලබාදීම මෙන්ම සේවයට අදාළ ගුණාත්මක පුහුණුවක් ලබාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා විය.
මෙම කරුණු බලාත්මක කිරීම සඳහා වන නෛතික රාමුව නව සංශෝධන මගින් ක්‍රියාත්මක කිරීමට මෙමගින් බලාපොරොත්තු වන වැඩිදුරටත් සඳහන්ය.
