2030 වසරේදී අපනයන ආදායම අ.ඩො බිලියන 36 ඉක්මවීමට බලාපොරොත්තු වන බව ඇමති වසන්ත කියයි
August 1, 2026 03:10 pm
2030 වසර වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා යාම සිය අරමුණ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කරන වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.
රජයේ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය දැක්වීම පිණිස ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ නිපුණ රැකියා අවස්ථා තවදුරටත් ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් සමාලෝචනය කිරීම සහ උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.
වාණිජමය වශයෙන් වැදගත් වෙළඳපොළවල් 23ක ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවය කරන වාණිජ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ සහ පුළුල් ආර්ථික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ කාර්යභාරය අතිශය වැදගත් බවය.
වෙළඳපොළ සංවර්ධනය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම හරහා මැනිය හැකි ප්‍රතිඵල ලබා දීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා යාම ඇතුළු ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ඉලක්කයන් සමඟ තම කටයුතු අනුගත කරන ලෙස ද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නිලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
