මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට පියවර
August 1, 2026 05:53 pm
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
අද (01) පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හට ගත්තේය.
වාර්තා වනුවේ හටගත් මෙම නොසන්සුන්තාවය හේතුවෙන් රැඳවියන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේඛ බන්ධනාගාර නිලධාරීන්ද කැඳවා ඇති අතර බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට හා විනය අංශයට ගිනි තබා ඇති අතර ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
අද පස්වරුවේ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් මහර බන්ධනාගාරයට පැමිණියද ඔවුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර හිමිව නොමැත.
ඒ අනුව ඥාතීන් මේ වන විට මහර බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින බවද සඳහන් වේ.
කෙසේ වෙතත් එම ස්ථානයේ රැඳී සිටින ඥාතීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬවල් කිහිපයක් ද ඇසුණු බවය.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන තෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
