රුපියල් බිලියන 71.7ක සහන පැකේජයට CoPF අනුමැතිය

රුපියල් බිලියන 71.7ක සහන පැකේජයට CoPF අනුමැතිය

August 3, 2026   10:07 pm

2026 වසර සඳහා වන අංක 03 දරන පරිපූරක ඇස්තමේන්තුව යටතේ මැදපෙරදිග යුද තත්ත්වයෙන් සහ ආර්ථික අපහසුතාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 71.7ක සහන පැකේජයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ කාරක සභාවේදී අනාවරණය වූයේ, එම පැකේජයෙන් රුපියල් බිලියන 52.8ක් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වෙන් කර ඇති බවයි. නිලධාරීන් පෙන්වා දුන්නේ මෙය ඉන්ධන සමාගම් සඳහා ලබාදෙන සහනාධාරයකට වඩා පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් ලබාදෙන තාවකාලික පියවරක් බවය.

ඊට අමතරව, ලංකා විදුලිබල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 15ක්, අස්වැසුම වැඩසටහන සඳහා රුපියල් බිලියන 8.2ක්, යළ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් බිලියන 3ක්, කුඩා තේ වතු හිමියන් සඳහා රුපියල් බිලියන 2.2ක් සහ ධීවර ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 1.2ක් වෙන් කර ඇති බව ද කාරක සභාව හමුවේ අනාවරණය විය.

මෙම ප්‍රතිපාදන 2026 වසරේ වියදම් හෝ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමකින් තොරව, 'දිට්වා' සුළි කුණාටුව සඳහා වෙන් කළ ප්‍රතිපාදනවල භාවිතයට නොගත් මුදල් නැවත ප්‍රතිවෙන් කිරීමෙන් සපයා ඇති බව ද නිලධාරීහු පැවසූහ.

රැස්වීමේදී 'දිට්වා' ආපදාවෙන් පසු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්, 'එල්නිනෝ' තත්ත්වයට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ ව්‍යවස්ථාපිත අරමුදල ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සහ විගණකාධිපතිවරියගේ වැටුප් නිර්ණය කිරීම සම්බන්ධ කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.